රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වසර 6 කට පසු ‘නිල් මහ සටන’ දිනති


කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය වසර 6 කට පසුව ජය ලැබීමට සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව 134 වැනි වරටත් පැවැති මෙම තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (09) තේ විවේකයෙන් පසු තෙවැනි  ඕවරයේදී රාජකීය විදුහල් පිල කඩුලූ 7 කින් ජය ලැබීය.

රාජකීය විදුහල මහ ක‍්‍රිකට් තරගය ජය ලැබූ 34 වැනි වසර මෙය වන අතර රාජකීය විදුහල අවසන් වරට 2006 වසරේ නඳුන් පුංචිහේවාගේ නායකත්වයෙන් ජය ලබා සිටියේය.

රාජකීය විදුහල් පිතිකරුවෝ ලකුණු 65 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 10.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. රාජකීය විදුහල් පිල ශාන්ත තොමස් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 132 කට සීමා කිරීමත් සමග ජයග‍්‍රහණය සදහා ලකුණු 65 ක පහසු ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.

රාජකීය විදුහල පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් රැස්කර ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 192 සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 132

(දීලක හේරත් 25, ජාවෙඞ් බොන්සෝ 19, සනේෂ් ද මෙල් නොදැවී 49, චාමික කරුණාරත්න 32/4, හේෂාන් රාමනායක 36/2)

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 260 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 67

(රොනක අහංගම 16, මිලාන් අබේසේකර නොදැවී 22, හෙලකමල් නානායක්කාර 30/3)

 

(ඡයාරූප: ජයමාල් චන්දසිරි)