(ඩයනා උදයංගනී)
රෝහල්වල සහ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ සිදුකිරීමේදී භාවිතා කරනු ලබන ප්‍රතික්‍රියක සහ උපකරණ සම්බන්ධයෙන් මිල නියාමනයක් නොවීම නිසා ආනයන සමාගම් හිතුමතේ මිල වැඩිකරන බව ස්වාධීන වෛද්‍ය රසායනාගාර සංගමය පවසයි.
මෙම ප්‍රතික්‍රියක සහ උපකරණ මෙරටට ගෙන්වීමේදී සහ අලෙවි කිරීමේදී රජයෙන් නිසි නියාමනයක් නොවීම නිසා ආනයනකරුවන් හිතුමතේ මිල වැඩිකරමින් අසාමාන්‍ය ලාභයක් ලබන බව එම සංගමයේ සභාපති කීර්ති සපුකොටන මහතා පැවසීය.
මෙම සමාගම් මාෆියාකරුවන් ලෙස කටයුතු කිරීම නිසා අකමැත්තෙන් වුවත් වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණවල මිල වැඩිකිරීමට සිදුව ඇතැයි ද ඔහු කීවේය.
ඇතැම් සමාගම් මෙම උපකරණ හා ද්‍රව්‍ය රෝහල්වලට අලෙවි කරනු ලබන්නේ පුද්ගලික ආයතන සඳහා විකුණන මිල මෙන් හත් අට ගුණයකටත් වඩා වැඩි මිලට බවත්, ගතවූ වසර කිහිපය තුළ මේවායේ මිල සියයට 200කින් පමණ ඉහළ දමා ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම තත්වය නිසා රජයේ හා පුද්ගලික රෝහල් මෙන්ම වෛද්‍ය රසායනාගාර දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ද සපුකොටන මහතා කීවේය.
රෝගීන්ගේ ආර්ථික තත්වය අනුව එම ද්‍රව්‍ය හා භාණ්ඩ මිල ඉහළ යන ප්‍රමාණයට සාපේක්‍ෂව වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණවල මිල ඉහළදැමීම කළ නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
එබැවින් මෙම ප්‍රතික්‍රීයක සහ උපකරණ මෙරටට ආනයනය කරනු ලබන්නේ කවර මිලකටද, මෙම අර්බුදකාරී තත්වය තුළ මිල වැඩිකළ යුත්තේ කවර ප්‍රතිහතයකින්ද? යන්න තීරණය කිරීම සඳහා පුද්ගලික සෞඛ්‍ය නියාමව කොමිෂන් සභාව මගින් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට තම සංගමය සූදානම් බවත්, එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම කටයුත්ත නියාමනයට නව කොමිසමක් හෝ පත්කළ යුතු බවත් සපුකොටන මහතා කීවේය.