රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්


 ( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කර ඇත.

නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,  රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා,  වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  ඇතුළු එම අධිකරණයේ  පිරිසක් නම් කරනු ලැබ ඇත.
 
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 
2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.