රනිල්ට වාරණයක්


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ කෘත්‍යාධිකාරී සාමාජිකයන් 85 දෙනකුට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලූ දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වගඋත්තරකාර පාර්ෂවයට ලබන 22 වැන දා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කෙළේය. එදිනට අධිකරණයේ  පෙනී සිටින ලෙස දක්වමින් නොතිසි ද නිකුත් කෙළේය. වික්‍රමසිංහ මහතා තවත් හය වසරකට පක්ෂ නායකත්වයට පත් කිරීම සඳහා පසුගිය ජූලි 19 වැනි දා පක්ෂ ව්‍යාවස්ථාව සංශෝධනය කිරීම නීතිවරෝධී බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ දිසා විනිසුරු එසේ නියම කෙළේය. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීමේ දී සම්මත කර ගන්නා ලද සංශෝධනය මුල සිටම නීතියෙන් බල රහිත බවට ප්‍රකාශ කරන ලෙසත් ඊට වාරණයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.