රනිල් බදු කිහිපයක් සංශෝධනය කරයි


පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා කථාකරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ගත් ඩොලර් බිලියනයක ණය ගැන අගමැති කිසිත් නොකී බව කීවේය.

අගමැති ඊට පිළිතුරු ලෙස එම අරමුදලින් සතයක් වත් ණය අරගෙන නොමැති බව කීවේය. නමුත් මේ බදු ක්‍රමය ක්‍රමවත් ලෙස සකසා ගැනීමට විගණනයක් කරන ලෙස එම අරමුදලින් ඉල්ලා සිටි බවත් පැවසීය.

වාසුදේව නානායක්කාර මහතා පැවසූයේ ආණ්ඩුව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් සිදුකරන බවයි. ආණ්ඩුව වියරු වැටී ඇති බවත් ඔහු කීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රාජපක්ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉළට ඔසවා තැබීමට කිසිම උත්තේජනයක් නොලැබුණු බවයි. හම්බන්තොට එයට කදිම උදාහරණයක් බවද අගමැති කීවේය.

2016 අයවැයේ සංස්ථාපති බදු හා සංස්ථාපිත නොවන බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමටත් 2015 වසරේ බදු ප්‍රතිශතයන් එම අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා පැවසීය. ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2%ක ප්‍රතිශතයකම පවත්වා ගැනීමට සුදුසු බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

‘‘ අද අපේ රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය, ගෝලීය ආර්ථිකයේ බලපෑම් සහ අනාගත අභියෝග පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව පසුගිය ජනවාරි 28 වන දා මම මේ සභාව හමුවේ පැවසුවා. එයට සුදුසු අවස්ථාව එළැඹ ඇති බව මම සිතනවා.



ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තලයකට වැටී ඇති බවට ඝෝෂා කරමින් ජනතාව තුළ බියක් ඇති කරන්නට පසුගිය දින කීපය තිස්සේම පුද්ගලයන් කීප දෙනෙක් උත්සාහ ගන්නවා. රටින් රට ගොස් සම්මන්ත්‍රණ පවත්වමින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ විදේශයන්හි ජීවත් වන අයව බියපත් කරලීමටත් සමහරු වෙහෙසෙනවා. ඒ නිසා සැබෑ තත්ත්වය මේ සභාව හමුවේ හෙළි කිරීමටයි මම මේ අවස්ථාව සලසා ගන්නේ.



2015 වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව මම ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ මුලදීමයි. ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින්. සුමනදාස මහතා ග්‍රහයන් හා තරු ගණිමින් කියූ දේ මම ඊට බොහෝ කලින් කිව්වේ රටේ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහ කරමිනුයි.



රාජපක්‍ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව 2015 ට එහා ආණ්ඩුව පවත්වාගන්න අපහසු බව මට වැටහුණා. මම ඒ බව කල් ඇතිවම ප්‍රසිද්ධියේ කියද්දී සමහරු උපහාසයෙන් සිනාසුණා.



රාජපක්‍ෂ ආණ්ඩුව 2015 වසරේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ග්‍රහයන් කෙසේ වෙතත් ආර්ථිකය නීච වෙලා තිබුණ නිසයි. ඒ තත්ත්වය මත තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නට බැරි නිසයි.



ඉතින්, රාජපක්‍ෂ රෙජීමයේ සැලැස්ම වුණේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවත්වීමයි. ඔවුන් හිතුවේ දිනන්න පුළුවන් වෙයි කියලයි. දිනපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. එහෙම කළාම පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම අතට අරන්, බදු පිට බදු ගහලා, ණය පිට ණය අරන්, ජනතාව දරුණු ලෙස පාලනය කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.



නමුත් ජනතාවගේ ග්‍රහයා උච්ඡ වුණා. රාජපක්‍ෂ රෙජීමය අවසන් ගමන් ගියා.



ජනවාරි 08 වනදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. රටේ සියලු සාරය පවුලක් වටා ගොනු කොට, වරප්‍රසාද, ප්‍රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයකුයි ක්‍රියාත්මක වුණේ. ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්‍රයකුයි ක්‍රියාත්මක වුණේ. ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා වින්දා. රටේ අනාගතය අඳුරු වුණා. එක පවුලක් රජ වුණා.



අපි මේ තත්ත්වය වෙනස් කළා. මේ අවගමන අප නැවැත්තුවා. කඩා වැටෙන ආර්ථිකයෙන් පීඩාවට පත් වූ ජනතාවට වහාම සහන සැලසීම අපේ මූලික වගකීමක් වුණා. ඒ නිසා දින සියය වැඩසටහන යටතේ අප විශාල වශයෙන් සහන ලබා දුන්නා. ජනතාව අත යළිත් මුදල් ගැවසෙන්නට අවශ්‍ය පසුබිම අප ඒ ආකාරයෙන් සකස් කළා.



සමහර ඒවා මම මතක් කරන්නම්. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භූමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම. 



හැබැයි රටේ ආර්ථිකය වැටී තිබුණු වලෙන් ගොඩ ගැනීම ලේසි පාසු කටයුත්තක් වුණේ නෑ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය වෙලා තිබුණේ.



2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. අයවැයෙන් පසුවත් අපට තව තව තොරතුරු වාර්තා වුණා. මේක හරියට යුද්ධයක් අවසානයේ ඇති වුණ තත්ත්වයක් වගෙයි. බොහෝ දෙනෙක් අතුරුදහන් වෙලා. ඒ අය මිය ගිය බවට ආරංචි තිබුණත්, තහවුරු කර ගෙන නෑ. මළ කඳන් හමුවී නෑ.



මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි. මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිළිබඳව හෝ සැබෑ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.



අපි පසුගිය දෙසැම්බර මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර මාසයේදීයි. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා.



රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසයි. මේ විගණනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හා එක් වෙනවා.



මේ සහතික කෙරුණු වාර්තාවන්ට අනුව 2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක්. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්.



රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක්. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 211 ක්. ආදී වශයෙන් ලැයිස්තුව බොහොම දිගයි. 



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 23 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහාමාර්ග අමාත්‍යංශයේ ණය. පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි. 



රාජපක්‍ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. වරායක් හැදුවා. නැව් නෑ. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ.



ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ.දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. ඒ නිසා අපේ ගමන් මග ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවත් මෙහිලා සිහිපත් කරන්නට කැමතියි. 



අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි.



අද ලෝකයේ තෙල් මිළ පහත වැටෙමින් පවතිනවා. මේ නිසා රටේ තෙල් මිල පහත දැමිය යුතුයැයි කියන අය ඒ පිටුපස ඇති අනතුරුදායක තත්ත්වයන් දකින්නේ නැහැ. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. අනික් අතින් ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි. දැනට ඒ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන්නට ඉඩ තියෙනවා. පඩි අඩු වෙන්නට ඉඩ තියෙනවා. මේ අනතුර අප අමතක නොකළ යුතුයි. 



තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූමද පහත වැටෙනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නිසා මැදපෙරදිග කලාපය අවදානම් තත්ත්වයකට ඇද වැටී තියෙනවා. අපේ තේ අපනයනයට එය තදින් බලපානවා. 



චීනයේ ආර්ථික අවපාතය ද අපට අවාසි සහගත තත්ත්වයක්. මෙරටට පැමිණෙන චීන සංචාරකයන් වගේම චීන ආයෝජනද පහත වැටෙන්නට එය හේතු විය හැකියි.



යුරෝපීය ආර්ථිකය දුර්වල වුවහොත් එය අපේ අපනයන ආදායමට බලපානවා. යම් හෙයකින් බ්‍රිතාන්‍යය යුරෝපීය වෙළඳ හවුලෙන් ඉවත් වුවහොත් එයත් අපට අවාසිදායක වෙනවා. ඒ නිසා එසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. අමෙරිකානු මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීම සිදු කළ හැකියි. එසේ කළහොත් අපි ගෙවිය යුතු ණය පොළී අනුපාතිකයන්ද ඉහළ නගිනවා. 



පසුගිය පෙබරවාරි මාසයේ 26 සහ 27 දිනවල චීනයේ ෂැංහයි නගරයේදී ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ හා මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව පැවැත්වුණා. එය අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා. 



 “ප්‍රාග්ධන ප්‍රවාහය ක්‍ෂණිකව වෙනස් වෙන පසුබිමක, පසුබැසීමේ අවදානම සහ අනපේක්‍ෂිත අවස්ථා වර්ධනය, වෙළඳ භාණ්ඩ මිල විශාල ලෙස පහත වැටීම, භූගෝලීය දේශපාලන ආතතිය ඉහළ නැංවීම, එක්සත් රාජධානිය යුරෝපීය හවුලෙන් ඉවත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීමේ කම්පනය, යුරෝපයට පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව වැඩිවීම ආදී සාධක සියල්ල මධ්‍යයේ ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.



විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ ව්‍යාකූලත්වය මගින් මුල්‍ය ස්ථාවරයට බලපෑම් සිදු විය හැකි බව අප නැවතත් අවධාරණය කර සිටිමු.”



ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.



රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යුවහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. පසුගිය කාලයේ නොවෙනස්ව අනුගමනය කළ ක්‍රමය වුණේ වෙළඳපොලෙන් මුදල් සොයා ගැනීමයි. නමුත් අද වන විට ලෝක වෙළඳපෙලෙන් මුදල් ලබා ගැනීම අසීරු සහ වියදම් අධික ක්‍රමයක් බවට පත් වී තියෙනවා.



පසුගිය ජනවාරියේ ඩවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටින් ලෙගාඩ්, ප්‍රකට ව්‍යවසායකයන් හා ආර්ථික විශේෂඥයන් වූ ජෝර්ජ් සෝරෝස්, ජෝශප් ස්ට්ග්ලිට්ස් සහ රිකාඩෝ හවුස්මාන් වැනි අය හමුවී සාකච්ඡා කළා. ගෝලීය ආර්ථික අවදානමට රටක් ලෙස අප මුහුණ දිය යුතු ආකාරය ගැන අප අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් සියලු දෙනාම කිව්වේ ගෝලීය ආර්ථික අර්බුදය ගැන අනාවැකි පළ කිරීම අසීරු බවයි. ඒ නිසා අරපරිස්සමින්, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැන වැඩි බරක් තබන ලෙස ඔවුන් පැවසූවා.



යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානියේ මත විමසුම සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හේතුවෙන් මේ ගෝලීය ආර්ථික අවදානම ආසන්න වශයෙන් ඉදිරි වසරක කාලයක් පමණ පැවතීමට ඉඩ තියෙනවා. 



ඒ නිසා මේ වසර අප සීරුවෙන් ගෙවා ගත යුතු වසරක්. මේ වසරේ දේශීය හා ගෝලීය අර්බුදය හමුවේ නොවැටී සිටින්නට අප ශක්තිය ඇති කර ගත යුතුයි. ධෛර්යය ඇති කර ගත යුතුයි. මේ අවුරුද්ද තුළ ආර්ථික ස්ථාවර භාවය ආරක්‍ෂා කර ගැනීමට අපට හැකි වුවහොත් අප අසීරුම අවස්ථාව ජය ගත්තා වෙනවා. අසීරුම අවස්ථාවෙන් ගොඩ එන්නට අප සමත් වුවහොත්, අනාගතය වඩාත් යහපත් හා පැහැපත් කර ගැනීම පහසුයි.



රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීමයි. මේ නිසා ණය පිට ණය පැටවුණා. පොලී පිට පොලී පැටවුණා. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අප සූදානම් නෑ. රාජපක්‍ෂ රෙජීමය මේ ආකාරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නුවා. ඒ සුරංගනා කඩතුරාවට මේ රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටුණා.



දැන් අප ඒ කඩතුරාව ඉවත් කර තියෙනවා. දැන් අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විවෘතව දකින්න තියෙනවා. ඒ නිසා තමයි ෆිච් දර්ශකයේ අපේ ස්ථානය පහළ වැටුණේ. 



කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්‍රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි.  අප සිදුකරන්නේ එයයි. ඒ සඳහා වැඩි වැඩියෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කර ගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොළක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.



අද අප එළැඹ තියෙන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මංසන්ධියකටයි. සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ ඉදිරි දැක්ම, විශේෂයෙන් ජනතාවගේ ආදායම ඉහළ නංවන රැකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙළ, නිවාස පන් ලක්‍ෂයේ වැඩපිළිවෙළ සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල සංවර්ධනය යන වැඩපිළිවෙළවල් සාක්‍ෂාත් කර ගැනීමට අපට අවශ්‍යයි. නමුත් අස්ථාවර ගෝලීය පරිසරය අපට බාධා කරනවා. මේ බාධක ජය ගැනීමට නම් නව්‍ය ප්‍රවේශයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.



මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලූව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණ සහිත මැදි කාලීන මූල්‍ය ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකින් පමණයි. මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්. 



නවීන ලෝකයට ගැලපෙන පරිදි, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.



2016 වසර ඉතා අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බව මම කලිනුත් සඳහන් කළේ ඒ නිසයි. 2016 අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලූතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින්, 2016 වසරට අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීමද අප සිදු කළ යුතුයි. 



ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය ගතිකත්වය පවත්වා ගැනීමට නම් අප ආර්ථික වර්ධනය 6% ආසන්නයේ පවත්වා ගත යුතුයි. මූල්‍ය ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ අනුව පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇති විය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගනිමින් 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් යළි සලකා බැලිය යුතු බව අපට හැඟී ගියා.



ඒ නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු 2016 අයවැයේ මෙම බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කරනවා. 2015 වසරේ බදු ප්‍රතිශතයන් මේ අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා. ව්‍යවස්ථාපිත ආදායම් බදුකලින් විවිධ බදු අනුපාතයන්ට යටත්ව පැවැති ඉතිරි සියලූම අංශ සදහා 2016 අයවැයෙන් යෝජනා කළ 15% ක ප්‍රතිශතය වෙනුවට 17.5% ක බදු අනුපාතයක් පැනවීමට ක්‍රියා කරනවා.



ප්‍රාග්ධන ඉපැයීම් මත බදු 



1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා. 2015 අයවැයෙන් ලබාදුන් සහන හේතුවෙන් සමස්ත ඉල්ලූම ඉහළ නැංවුණා. ඒ හේතුවෙන් ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි පැනවීමට අපි ක්‍රියාකරනවා.



ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) 



ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම මත පදනම් වූ බද්දක්. ඒ නිසා 2016 අයවැයෙන් යෝජනා කළ පරිදි එම බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් එල්ල වෙනවා. 



එම විහිදුනු බලපෑම වැළැක්වීම සහ ව්‍යාපාර සංවර්ධනය සුරක්‍ෂිත කිරීම වස් ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2% ක ප්‍රතිශතයකම නොවෙනස්ව පවත්වා ගැනීම සුදුසයි. විදුලි සැපයුම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට කරනු ලැබූ යෝජනාව එලෙසම ක්‍රියාත්මක වන අතර කාර්තුවක් සඳහා රුපියල් මිලියන 3.75 ක් වූ අවම සීමාව රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනවා.



එකතු කළ අගය මත බදු (VAT)



11% ක් වූ තනි අනුපාතයක් වෙනුවට 2016 අයවැයෙන් 8% ක් සහ 12.5% ක් වශයෙන් වූ එකතු කළ අගය මත බදු අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා.



කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක් වූ තනි එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්‍ෂා සහගත විකල්පයක් වෙනවා. විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරනවා.  වැට් බදු වැඩි කිරීමෙන්, අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට අප ඉඩ දෙන්නේ නෑ. 



අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැටි බදු පැනවීමට අප ක්‍රියා කරනවා. 



එම බදු ප්‍රතිපත්ති සංශෝධන මගින් වගේම, විදේශීය රටවල් සමග ආර්ථික හා වාණිජ සබඳතාවන් ශක්තිමත් කරලීම මගින් වැඩි ආදායම් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.



ඒ සඳහා ඉතා ඉක්මණින්ම ජීඑස්පී + සහනය ලබා ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ ඇඟළුම් පමණක් නොව අනෙකුත් නිෂ්පාදන සඳහාත් යුරෝපීය වෙළඳ පොළේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. 



ඒ සමගම අප විවිධ රටවල් සමග සහයෝගීතා ගිවිසුම් වලට එළැඹිම සඳහා සාකච්ඡා කරනවා. ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොල පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ තරුණ තරුණියන් ලක්‍ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.



අපි ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගිය සතියේ අපේ අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ සංචාරය කළා. ඒ පදනම ම