( +++ සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇති හඬපටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී අද (7) තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (07) පස්වරු 2.00ට පැවැත් වේ.
හඬ පටය මන්ත්‍රීවරුන්ට ලබාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳවද පක්ෂ නායක රැස්වීමේ දී අද තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතාගේ ඒ හඬපටය සියලුම මන්ත්‍රීවරුන්ට දෙන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (5) ඉල්ලීමක් කළාය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායකවරයා එහි දී පැවැසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපටය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට ඉහත දී බාර දෙනු ලැබීය.
හඬපටය මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලයේ සුරක්ෂිතව තබා ඇත.
රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් හා දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් සමග පවත්වන දුරකතන සංවාද දහස් ගණනක් මෙම හඬපටයට ඇතුළත්ව තිබෙන බව පැවසේ.

