රන්ජන්ගේ හඬපට 14 ක් එළියට


( +++ ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතනයෙන් සිදු කළ සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට 14 ක් පමණ ඊයේ (8) වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.

රාමනායක මහතා හිටපු අගමැතිවරයාත්, හිටපු මහාධිකරණ විනිසුරුවරියක, මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නිළියක, පොලිස් නිලධාරින් ඇතුළු කීප දෙනකු සමග කළ දුරකථන සංවාද මෙම හඬපටවලට ඇතුළත්වී ඇතැයි පැවසේ.

මෙම හඬපට ප්‍රසිද්ධියට පත්වීමෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කැළඹීමක් හටගෙන ඇත.

රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් බාරයට ගත් සීඩී පටවලින් හඬ පට 10 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒවා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාමනායක මහතාගේ නිවසේ තිබී පසුගිය 4 වැනිදා සිය බාරයට ගත් මෙම හඬපට සහිත සීඩී, සහ හාර්ඞ් ඩිස්ක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට බාරදී ඇත.