රන්ජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවාදයක් පවත්වන්නැයි මන්ත්‍රීවරු ඉල්ලති


(සුජිත් හේවාජුලිගේ , ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් කරන ලද මේ ක්‍රියාව හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම පාර්ලිමේන්තුවද හෑල්ලුවට පත්ව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වා ජනතාවට කරුණු ඉදිරිපත් කිරීම වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය.

මේ කුමන්ත්‍රණවලට සම්බන්ධ වූ සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඇමැතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම හඬපටය බැරැරුම් සිද්ධියක් ලෙස සලකා ඊයේ දිනයේදී දීර්ඝව සාකච්ඡා කළ බවයි.

රන්ජන් රාමනායක මහතාගේ හඬපටවල තවත් බැරැරුම් කරුණු රාශියක් අඩංගුව තිබෙන බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒවාද ඉදිරියේදී ජනතාවට ඉරිපත් කෙරෙණු ඇතැයි පැවසීය.