රන්ජන් සමඟ දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවරුන්ගේ දුරකතන වාර්තා ලබාගන්නැයි උපදෙස්


(මනෝප‍්‍රිය ගුණසේකර)

පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද වල යෙදුණු මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක, ගිහාන් පිළපිටිය හා ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ දුරකතන සම්බන්ධ වාර්තා එම දුරකතන ආයතන වලින් ලබාගැනීමට කටයුතු කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට අද (23) නියම කළේය.

තමන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද වල යෙදුණු බවට මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක, ගිහාන් පිළපිටිය හා ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තර ලබාදෙමින් පිළිගැනීම සැළකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

ඊට පෙර පද්මිණි රණවක, ගිහාන් පිළපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ඔවුන් සතු සියළුම දුරකතන අංකයන් ලබා ගන්නා ලෙස නීතීපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් ඉන් අනතුරුව අදාළ දුරකතන සංවාද පිළිබඳව තාක්‍ෂණික සාක්කි ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයන් ලබාගැනීමෙන් අනතුරුව දුරකතන සේවා සපයන ආයතන විලින් අදාළ වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙසද නියම කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.