රන්ජන් ප්‍රසිද්ධියේ හාදු දුන් ඕ.අයි.සී ට එරෙහිව පරීක්ෂණයක්


( +++ ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, ඉකුත් 4 වැනිදා සවස අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු ප්‍රසිද්ධියේ සිදු කළ වැළඳගැනීම්  වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව  පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

රාමනායක මහතා   අත්අඩංගුවට ගැනීම  සඳහා  කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය පොලිස් කණ්ඩායමක් නිවෙසට ගොස්  ඔහුට මාංචු දැමීමට සූදානම් වූ අවස්ථාවේ   මෙම සිද්ධිය සිදුවී ඇති අතර  ඒ බව මාධ්‍යවලද ප්‍රචාරය විය.

මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ මෙම වැළඳ ගැනීම සිදුකරන අවස්ථාවේ ස්ථානාධිපතිවරයා එයට ප්‍රතිවිරෝධය නොදැක්වූයේ ඇයිද යන්න  විමසීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව  පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.

 වැඩබලන පොලිස්පතිවරයා  මේ සම්බන්ධ නියෝගය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකර ඇති අතර, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය කොළඹ දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගෙන් ඉදිරියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.