රන් පවුම් 26ක් කොල්ල කෑ සැකකරුවෝ අත්අඩංගුවට


(සිරාජ් හසීම්)

යාපනය කෝපායි හී බැංකු නිලධාරියකුගේ නිවසක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ වටිනා රන් පවුම් 26ක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ යාපනයේ නමගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා වෙනත් කොල්ලකෑමේ සිද්ධීයකට සිරගතව සිට මීට දින කිහිපයකට පෙර නිදහස් වී ඇතැයි ද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු කොල්ලකෑ රන් ආභරණ කොළඹ රන් භාණ්ඩ වෙළදසැලකට විකුණා එම මුදල්වලින් යතුරු පැදි දෙකක් මිලදී ගෙන ඇත.එම සැකකරු සිය බිරිද සමගින් කොළඹ ප්‍රධාන පෙලේ රෙදිපිළි වෙළදසැලකින් රුපියල් 185 000ක රෙදිපිළි මිලදී ගෙන ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙම සැකකරු කොළඹ සිට යාපනයට පැමිණෙමින්  සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.සොරාගත් රන් ආභරණ,ඒවා අලෙවි කර මිළදී ගත් භාණ්ඩ සහ ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 97 000ක මුදල් ද පොලිසිය බාරයට ගෙන තිබේ.