
(ටෝනි කරුණානායක)
වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි.
ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම නඩුව විභාගයට ගැනුණු අතර මේනකා විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය නොමැතිව නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන මහාධිකරණ විනිසුරුවරු ඉදිරියේ අද (17) නඩුව කැඳවිණි.
පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥවරුන් වන වසන්ත පෙරේරා සහ උදාර කරුණාතිලක යන මහත්වරුන් විසින් සංශෝධනය කළ සාක්ෂි ලැයිස්තුවක් මහාධිකරණයට සහ විත්තිකරුවන්ගේ නීතිඥ මහත්වරුන්ට ලබා දුන්නේය.
යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන , ඩිංගිරි අරුනගේ සිරිසේන ,ලලිත් ග්‍රේ සහ ජේ.එම්.තිලකරත්න යන විත්තිකරුවන් සිව් දෙනා මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර නැවත සැප්තැම්බර් මස 11 වැනිදාට පෙනී සිටින ලෙස නියම කෙරුණි.
2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදුකර ඇති බවට අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

