රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අතවනා කියයි මට ගමට එන්නට
සකි සඳේ හැඬුම් මිස බැරිය සීපද
වැඩපොළේ වහල උඩ හඬන කොවුලනේ
මොකද මේ තොපට නැතුවද බඩගිනී
නම කියා විහිළු කළ කුරුළු දරුවනේ
පර වුනාම එරබදු මලෙත් නැහැ පැණී
එනතුරා පැළට අවුරුද්ද දුක නැතී
මග බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේම මට මගේ කඳුළු යැව්වැකී //
රත්න ශ‍්‍රී විජේසිංහ සූරීන් විසින් ගේය පද රචනය කළ මෙම ගීතය මුළුමනින්ම ජන කවි ආර ගුරු කොට කැරුණු නව නිමැවුමක් යැයි සැළකිය හැකිය. ජනකවිය දොසින් යුතු යැයි කාව්‍ය විචාරකයෝ පවසති. විදග්ධ කාව්‍ය සම්ප‍්‍රදායයේ ගුණය ජන කවියෙහි ලා දොසක් වේ. ජන කවියේ දෝෂය විදග්ධ කවියේ ගුණයක් යැයි කියවේ. ව්‍යාජයෙන් තොර අත්දැකීම් ලබන ජක කවියා තමා අනුභව කළ සිද්ධි හා අත්දැකීම් වලින් පෙහෙණිව කවි බඳියි. මේ එවැනි අවසන් වූ අත්දැකීමකැයි මම අදහස් කරමි.
ජනප‍්‍රිය පොදු ජන සාහිත්‍යයේ කවියට ඇත්තේ ඉහළ තැනකි. ඒ කවි බිණුවෝ ජන කවියෝම වූහ. ඔහුගේ ඉදිරිපත් කිරීම කාව්‍ය ස්වරූපය ගනී. ජන කවියේ දී ළිහිල් මටසිළිටු වූ වදන් මෙහෙයා ඇති අයුර හා වෙනත් යෙදුම් යෙදූ අයුරු එමගින් කවිය රසවත් කළ අයුර රත්න ශ‍්‍රී ද සැළකිල්ලට ගත් බව පෙනේ. මෙහි වැහැරෙන රණවරා ගහ, කන්දට කුමරිය ඇවිත්, වැඩ පොළ, තොපට නැතුවාද බඩගිනි, කුරුළු දරුවනේ, පර වුනාම, එනතුරු පැළට, දුක නැතී, එරබදු මල, සකි සඳේ, යැව්වැකී යන ආදී ජන කවියා යෙදු යෙදුම් යට කී අදහස අරුත් ගන්වයි. වාච්‍යාර්ථයට පමණක්ම ජන කවියේ ඉඩක් නැත. විච්‍යාර්ථයට යටින් දුවන ධ්වනිය කවියේ ජීවය බවට පත් වේ. දුප්පත්කම නිසාම ගතින් සිතින් විඳන දුක මනා සංයමයයෙන් හා හැඟුම් බරව පළ කළ ජන කවියකු මම මේ නිර්මාණය තුළින් හඳුනා ගතිමි.
රණවරා ගහේ මල් පිපෙන කාලෙට යැ යන කියුම සැබැවින්ම රණවරා මල් පිපෙන වෙසෙසි වූ කළක් ඇත්දැයි මසිත කුහුලක් නගයි. එහෙත් සියලූ ගස්ම මල් පුබුදන්නේ වසන්තයේ දී යැයි අවධාරිතයි. රණවරා ගස් වඩාත් දක්නට ලැබෙනුයේ ලඳු කැලෑ බහුල කටුක දේශගුණැති පරිසරයන්හිය. එහි මල් මොළොක් කහ පැහැයක් ගනී. මෙහි කියැවෙන සඳසරා කුමරිය සිටින පරිසරය කටුක එකකි. එබැවින්ම ඔවුන්ගේ ජීවිතයද කටුකවම ගෙවෙන බවට මෙයින් අදහසක් නැගෙයි. කටුක පරිසරයේ පිපුණු අලංකාර එහෙත් කහ පැහැය නිසා අපිස් බවක් දක්වන මලක් ව මේ රණවරා මල හඳුන්වමි. රණවරා යනු පඳුරක් මිස මහ ගසක් නෙවේ. තැන තැන විසිර පඳුරු වශයෙන් පරිසරයේ වැඩි කටුකත්වයට ලස්සනක් එකතු කරන්නට එයට පුළුවන.
සඳ සරා කුමරිය ඇවිත් කන්දට යැ කියා පරිසර ගුණයෙන් අනූන උසැති කන්දක් නොව සමතලා ලඳු බිමේ නැගී සිටි උස් තැනක් හඟවයි. නොඑසේම ලඳු බිම ඔබ්බේ ඈත වන තීරයේ නැගී සිටි තරමක් උස් කන්දක් දැයි ද සිතේ. මේ කන්ද ගීයට ආයේ කුමකටද? ඊට උඩින් සඳ ගෙන්වන්නටය. ජන කවියේ සඳ හැම විටම පාහේ එන්නේ කන්ද උඩින්ය. මේ නූතන ජන කවියේත් එසේය. සඳ එන්නේ නිකම් නොවේ. අනුරාගයද කැටිවය. රණවරා මලත් සඳේ පාට උලා ගත්තකි. කන්දට එන්නේ සඳසරා කුමරියයි. මේ කවියා මවන මනෝරූපයකි. ඒ රුව මවා ගන්නා විප්‍රලම්භයෙන් දුක් විඳින්නෙකි. හේ සිය පවුල හැර රක්සා පිණිස බැහැරි ඈතකට ගිය අයෙකි. වර්තමානයේ බිරිඳක වූ පෙම්වතිය අතීතයේ ළද බොළඳ සඳ සරා කුමරියව ඈතින් පායා ආ අයුර ඔහුට රස මතකයකි. අද අත වනා ගමට එන්නැයි කියනු චිත්ත රූපයෙන් දකින ඔහු සකි සඳේ යැයි සඳ කුමරිය අමතා හැඬුම් මිස සීපද බැරි යැයි කියයි. දුක දැනෙන විට දුකින් හැඟෙන විට අපේ ජනකවියා සීපද කීවේය. ඒවා වියෝගය දනවන එහෙත් රස බහුල ඒවාම විය. මේ සිපද කීමෙන්ද එහා ගිය තද දුකෙකි. හැඬුම් මිස සීපද බැරි යැයි කියැවෙන්නේ එබැවිනි.
වැඩපොළේ වහල උඩ හඬන කොවුලනේ
මොකද මේ තොපට නැතුවද බඩගිනී
කොවුලන් හඬන්නේ අලූත් අවුරුදු කාලයටයි. ඒ හැඬීමෙන් අවුරුද්ද ළඟ බව කියයි. වැඩපොළේ වහල උඩ කොවුළන් හැඬීම අමුතු යෙදුමකි. මුළු වැඩ පොළටම අවුරුද්ද පැමිණෙමින් සිටියි. වැඩකරුවෝ අවුරුද්ද සමරන්නට ගම් බලා යන්ට හැරෙති. මී අඹ වැනි රසැති පල දරන ගස් හි මිස වහල මත නොහඬන කොවුලා මෙහි කැඳවීම වසන්තය කිසිඳු චකිතයකින් තොරව කාර්ය බහුල කලබලකාරී වැඩපොළටත් එහි කම්කරුවන් වෙතටත් පැමිණ ඇති බැව් හඟවයි. වසන්ත කාලයේදී විප‍්‍රලම්භ ශෘංගාරයෙන් කාන්ත කාන්තා දෙපක්‍ෂයම වියෝ දුක උහුලන සැටි කවි සමයේ දැක්වෙයි. කොවුලා මියඹ රස පීමෙන් මත්ව කෙවිළිය කැඳවයි. මේ පරිසරය මිනිස් සිතෙහිද අනුරාගී සිතුවිලි වහා නගයි. එහෙත් ඔහුට ගෙදර යන්නට බැරිය. ඒ කුමක් නිසාදැයි කවියා නොදක්වතත් දුප්පත්කම නිසා උපන් බැගෑ බව හෙයිනැයි හඟවයි.
නම කියා විහිළු කළ කුරුළු දරුවනේ
පර වුනාම එරබදු මලෙත් නැහැ පැණී
කුරුල්ලෝ විටෙක කිසිවෙකු අමතන්නාක් මෙන් අසල වසා නෙක් අසුරු ශබ්ද නගති. නැතහොත් කුරුළු පැටික්කන් වන් අහිංසක කොලූ කුරුට්ටෝ ඔහු අමතා අවුරුද්දට ගමට යන්නේ නැතිදැයි අසති. ඒ දුක් සහිත මනස් ඇත්තෙකුට විහිළු කරන්නා සේ දැනීම අරුමයක් නොවේ. පරවුණු එරබදු මලක් කිසි කළෙක කවි සමයේ නොඑයි. එරබදු මල සිංහල රටේ වසන්ත සමයේ එළඹීම නැතහොත් අවුරුදු කුමරිය එන පෙරමග පිබිදීම ආදී දෑ සංකේත කරන්ට ජන කවියාද කවි සමයද යොදා ගනී. එහි ජ්වලිත රත් පැහැය මේ කාලයට සජීවී බවක් ලබා දීමටද සරාගී බැව් දැනවීමටද යෙදෙයි. සරාගී බවක් නම් සජීවී විය යුතුය. පරවුණු එරබදු මල සජීවී නොවේ. එසේ වූ කළ එහි සරාගී බවක්ද නැත. මල් පැණි මිහිර හඟවයි. මෙහි පැණිද නැත. ජීවිතයේ මිහිර සිඳී ගොස්ය. පරවුණු එරබදු මල ඔහුට මෙවර අවුරුදු නැති බවක්ද හඟවයි. කවියාට අවශ්‍ය වන්නේ ප‍්‍රස්තුත පුද්ගලයා ජීවිතයෙන් බැට කන ඇල් මැරුණු ආසාවන්ගෙන් යුත් අඹු දරුවන්ගෙන් ඈත්ව වසන ජීවිතාපේක්‍ෂාවක් නැත්තෙකු ලෙස විවරණය කිරීමට විය හැකිය. එය එලෙසින්ම ඉටුවී තිබෙනුද පෙනේ.
එනතුරා පැළට අවුරුද්ද දුක නැතී
මග බලාන දොරකඩ පුංචි දුව ඇතී
දුක හැර සතුට ගෙන අවුරුද්දකට වරක් එන අවුරුද්ද පුංචි උන්ට නම් මහා දෙයකි. තාත්තාත් අවුරුදු කැටුව ගෙට එතියි දුව මග බලා හිදී. ටික කලෙකට හෝ අළුත් ඇඳුම් වල තාන් සුවඳ. පැණි මුසු තෙල් සුවඳ, විහිදුවන රසමසවුළු, ගෙයින් ගෙය පිරී සතුට, සිනාමුසු මුහුණු, සජීවී බවක් පාන පරිසරය, බැද්දේ පිපුණු මල්, රස වෑහෙන පල පිරි ගස්, කුරුලූ ගී, කද බැඳ ගෙයින් ගෙට එන නෑයින් මේ විඳුම ළපටි ළමාවරුන්ගේ සිහින මදකින් හෝ සැබෑ කරවන සමයකි. එනතුරු බලාන හිඳින පුංචි දුව පියාගේ ඇතුළු හද පිරි සොව කඳුළින් වගුරවයි. දියණියෝ පියාට වැඩි ඇල්මක් දක්වති. පියාණනුදු එසේයි. මෙය මනෝවිද්‍යාත්මක සම්බන්ධයක් දක්වන මූලයකි. පියා දියණිය සිහි ගන්වා දුක් ලබන්නේ ඒ ඇල්ම නිසාය.
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේම මට මගේ කඳුළු යැවිවැකී
වැටුප් ලබා හෙට උදයේ ගමට යන සකියා හෙවත් යහළුවා අත ඔහුගේ කඳුළු යවන්ට ඔහු හිතයි. මෙහි කඳුළු නමින් හඟිනුයේ වෙර පුරා දුක් දරා නෙත් පුරා නෙත් දිය පෙරා සිත් පුරා සැනැසුම් හැරා නිහඬුරු සසුම් ලා හද පාරවා උපයා ගත් දිවෙල් වැටුපයි හෙවත් ජීවිකා වෘත්තිය වෙනුවෙන් ලබන වැටුපයි. යහළුවකු අත එය ගමට යවනුයේ අත පුරා යමක් ගෙන යන්නට නොසෑහෙන හෙයිනුදු හා වැටුප් කැටිව ගම යතොත් මග වියදම් නිසා වැටුප් ලූහු වන බැවිනිදුයි සිතේ. පුංචි දුව තුටුවන තරමේ යමක් ගෙන යන්ට නොහැකි වන බැවිනි. සකියා අත කඳුළු යැව්වැකි යි කියනුයේ එබැවිනි.
මේ නිමැවුම නූතන ජන කවියෙකි. සේකරයන්ගේ "දුකට කියන කවි" පැදි පෙළ මට සිහිවේ. ජන කවි ආර හා කවි බසද අත්දැකීම් ද නිසිව හසුරුවා පැදි බඳවා හෙළ පැදියට ගීයට මහ මෙහෙ කළ කිවියර සේකරයන් ගත් මග යමින් එබැවින් අනුසේකරයාණ කෙනෙකුන්ම වූ රත්න ශ‍්‍රී සූරීන් සිංහල ගීත සාහිත්‍යයේ නුපුන් සේකර හිඩැස සපුරතියි මම හඟිමි.
මෙහි ගී තනුව සංගීතය මෙහෙයවීම හා ගායනය ගැන නම් නොකියා නොහැක්කේය. අමරදේවයෝ ස්වකීය පෘථූල සංගීත ඥානයද දේශීය ජව විඥානයද ජන කවියාගේ දුක දෝමනස්සයන් ද අතැඹුලක් සේ දැන තනු හා සංගීත රචනයෙන් ගීතයේ ශ්ලක්ෂ්ණ ගුණය හෙවත් මෙළොක් සිනිදු සියුමැලි ගුණය ගීත ස්වර උපයෝගී කර ගනිමින් ස්ථායී භාවයට පත් කළහ. ඒ එතුමන් සතු අතිවිශිෂ්ඨ ශක්ණුතාවය ඉල්පවුනු තැනෙකි. කෙටියෙන් කියතොත් මේ ගීතයට අමරදේව සූරීන් සිය ”අමරදේව ලකුණ” තැබූහ. එයින් ගීයට ලැබුණු ජීවය කිසිදා සිඳී නොයේ. එමෙන්ම සුනිලූන්ගේ ළගන්නා මට සළිටු වූ අදීන සිංහල හඬ ගීතය මනාලියක් නම් ඇය රනබරණින් සරසා ලූ සැටියෙකි. ඇද පැද මොළොවා ලෙළවා සිහින් තන්හි සිහින්ද ගැඹුරු තන්හි ගැඹුරුද වන ලෙස ගී පද හඬවා ගැයූ අයුර සවන් වන් උළෙලක්ම පෑය. මේ ත‍්‍රීමූර්තිය එක්ව හනා පුරවා ලූ ගී රස බඳුන කිසිදා සිස් නොවන්නේමය.

