රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇගිලි ගහන්න විදේශයන්ට ඉඩක් නැහැ


(නිමල කොඩිතුවක්කු)

රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇඟිලි ගැසීමට කිසිදු විදේශයකට හෝ  ජාත්‍යන්තර ආයතනයකට ඉඩ ලබා නොදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය.
විදේශීය ඇඟිලි ගැසීම්වලින් තොරව රටේත් ජනතාවගේ ස්වාධීනත්වය සහ අභිමානය රැක ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වත්මන් රජය ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ  දි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

" අද ආණ්ඩුව හමුදාකරණයට ලක් කරලා, හදිසි නිතිය ගෙනල්ලා කියලා මේ දවස්වල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

ලෝකයේ රටවල් 104 ට ආසන්න ප්‍රමාණයකට අද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් හදිසි නිතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ සියලු රටවල් පේන්නේ නැතිව අද අපේ රටට විතරක් බලපෑම් කරන්න උත්සහ කරන එක පිළිබඳව අපි කණගාටු වෙනවා.

සජිත් සහ රනිල් හිටපු ආණ්ඩුවෙන් ගත් තීරණ නිසා තමයි අපි තවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ බලපෑම්වලට ලක් වෙන්නේ. අපේ රටේ ස්වාධීනත්වය අභිමානය රැකගෙන තමයි අපි කටයුතු කරන්නේ කියලා අපි අවධාරණය කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.