රට විවෘත කරනවාද තීරණය හෙට


(සුජිත් හේවාජුලිගේ)

රට ලබන 21 වැනිදා  අඟහරුවාදා  විවෘත කරනවද නැද්ද යන්න සම්බන්ධයෙන්වූ අවසන් තීරණය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17)  උදේ පැවැත්වීමට නියමිත කොවිඩ්  මර්දන කාර්ය සාධක බලකා  රැස්වීමේදී ගැනීමට නියමිතය.

මෙම රැස්වීමට රට  විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක්ද   අද ඉදිරිපත් කෙරේ.

මේ අතර  දැඩි  නීති සහ  සීමාවන් යටතේ රට විවෘත කිරීමේ හැකියාව ඇති බව  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙයට අමතරව  පාසල්  නැවත විවෘත කිරීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අංශ  විසින් ඉදිරිපත් කරනු ලැබීමට  නියමිත  නිර්දේශ මාලාවක්ද  මෙම කමිටුවේදී  අද   සාකච්ඡාවට   භාජන කිරීමට  නියමිතය.

රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය  කොවිඩ්  මර්දන කමිටුව  ගත් තීරණය අනුව අවසන්වීමට නියමිතව ඇත්තේ  ලබන 21 වැනිදා අඟහරුවාදාය.

කොවිඩ්  පැතිරීම පාලනය කිරීම සඳහා  රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම  පනවණු  ලැබුවේ  පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.

මේ අනුව  රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය අදට(17) ක්‍රියාත්මක කර ඇති දින ගණන විසි නවයකි.