(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යම් පාලනයක් වු පසු රට දැඩි සෞඛ්‍යමය කොන්දේසි යටතේ විවෘත කිරීමට හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පවසයි.
එසේම විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
ඩෙල්ටා සැර කොරෝනා රැල්ලේ යම් පාලනයක් ලබන මාසය වනවිට ඇති වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකිවනු ඇතැයිද සඳහන් කළේය.
රටේ ජනගහනයෙන් සියයට 85ක් එන්නත්කරණයට ලක් කළ පසු රංචු ප්‍රතිශක්තිය ගොඩනැංවී කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු පාලනයක් ඇති වනු ඇති බවත් එම සියයට අසූ පහේ සීමාවට පැමිණ සති දෙකක් ගිය පසු ඒ ප්‍රතිඵල පෙන්නුම් කෙරෙනු ඇති බවත් අර්ජුන ද සිල්වා මහතා පැවසුවේය.
රට සාමාන්‍ය තත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගටම පිළිපැදිය යුතු බවද ඔහු සඳහන් කළේය.
පාසල් විවෘත කිරීමට පෙර දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම වැදගත් බවත් උසස්පෙළ පන්තිවල සිට පහළ පන්ති දක්වා පියවරෙන් පියවර එන්නත ලබා දිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහචාර්යවරයා කීවේය.
නිරෝධායන කාලසීමාවේදී සමහරුන්ගේ හැසිරීම සතුටුදායක නැතැයි පැවසූ හෙතෙම එන්නත් ලබාගැනීමට රැස් වන අවස්ථාවලදීද ජනතාව සෞඛ්‍යානුකූලව කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

