රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න


(ගයාන් සූරියආරච්චි)

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය.

අලහප්පෙරුම  මහතා මෙසේ පැවැසූවේ අද (10) ‘නිදහස‘ ප්‍රධාන කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.

නව වසර උදාවී දින 90 කින් නිශ්චිත වශයෙන් පනතට අනුව ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුයි. දින 114 කින් නාම යෝජනා කැදවීමට සිදුවෙනවා. නව අවුරුදු උදාවී දින 176 කින් පමණ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.

මා මෙරට පුරවැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට විකුණන න්‍යාය පත්‍ර ගැන දෙසැරයක් හිතන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැනීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් දා ඔහුගේ නිවෙස ඉදිරිපිට බැනරයක් ප්‍රදර්ශනය කරමින් පවසා සිටියා.

 මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. මත යැපෙන ආණ්ඩුවක්. එම න්‍යාය පත්‍රයට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලුම බල කදවුරුවලට අප හා එක්වන ලෙස මා ආරාධනා කරනවා යැයි අලහප්පේරුම මහතා පැවැසීය.