රට ලොකු මුදල් අර්බුදයක


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයිද රජය එය වසන් කරන්නේ යැයිද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය .

අද ඩොලර් ටිකක් තිබෙන්නේ මහ බැංකුවේ පමණකැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාව පිළිබඳව විවාදයේදීය.

රජය ඉටුකම අරමුදලෙහි ඇති මුදල්ද වංචා කරන බවත් ලීසිං ක්‍රමය යටතේ ණය ගත් විශාල පිරිසක් අද අසරණ වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .

කොරෝනා පාලනය සම්බන්ධයෙන්වූ ආණ්ඩුවේ බැරිකම වසා ගැනීමට අද බලහත්කාරය පාවිච්චි කරන බවට චෝදනා කළ විජිත හේරත් මහතා ග්‍රාම නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන්ට රාජකාරි අනිවාර්ය කර ඇත්තේ ඒ බලහත්කාරය පාවිච්චි කර යැයිද සඳහන් කළේය.

රජය නිකුත්කළ අත්‍යවශ්‍ය සේවා ගැසට් දෙක සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

කොරෝනා පාලනය ඉදිරියට දාගෙන රටේ ජනතාව මර්දනය කිරීමට උත්සාහ දැරීමද ඉතා පිළිකුලෙන් හෙළා දකින බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන පනතට විරුද්ධව ආචාර්යවරුන් සාමකාමීව විරෝධය පළ කරද්දි ආණ්ඩුවේ පොලිසිය ඔවුන්ට පහර දුන් බවත් හේරත් මහතා කීය.

මර්දනය රටේ ප්‍රශ්න ප්‍රශ්නවලට උත්තරයක් නොවේ යැයිද ඔහු සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව පාඩු යැයි පවසද්දී ඉන්දීය තෙල් සමාගම කෝටි 80 කට වැඩි ලාභයක් උපයා ඇතැයි පැවසූ ඒ මහතා ඉන්ධන වෙළඳපොළේ පහෙන් හතරක් හසුරුවන ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.