රජයේ තොරතුරු සන්නිවේදන ප්‍රතිපත්ති සංශෝධනය කෙරේ



බිඟුන් මේනක ගමගේ 
 
රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය හෙවත් ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කෙරෙන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. 
 
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ මූලිකත්වයෙන් 2009 වසරේදී කැබිනට් අනුමැතිය හිමිව ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණු මෙම ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කෙරෙන්නේ පළමු වරට යැයි ඉක්ටා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. 
 
රජයේ ආයතනවල හඳුනා ගනු ලැබූ මූලික ගැටලු සමඟ ප්‍රතිපත්ති රාමුව නම්‍යශීලී කිරීමේ හා වෙනස් වූ ලොව නව තාක්ෂණයට එය අනුගත කිරීමේ අරමුණෙන් මෙම සංශෝධනය සිදුකරන්නේ යැයි සමරජීව මහතා අවධාරණය කර කීය.
 
එක්සත් ජාතින්ගේ සංවිධානයේ යහපාලන අෂ්ඨ ධර්ම පදනම් කරගෙන මෙම සංශෝධනය සිදුකරන්නේ යැයි ද පුරවැසියන්ට වඩාත් සමීප හා මිත්‍රශීලී ලෙස රාජ්‍ය ආයතන මගින් සිය සේවා සපයාගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන්නේ යැයි ද ඒ මහතා පැවැසීය.
 
රාජ්‍ය, පුද්ගලික හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගෙන් සමන්විත වූ කමිටුවක් මගින් වසර පහක් තිස්සේ කෙටුම්පත් කෙරුණු මෙම ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවුණේ 2009 දෙසැම්බර් මාසයේ යැයි කී හෙතෙම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය ඔස්සේ ක්‍රියාත්මක කෙරුණු සාර්ථක ව්‍යාපෘතියක් යැයි ද සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.