( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ලබන 15 වැනිදා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08) නියෝග කළාය.
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ,උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම පැමිණිල්ල අද (08) කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒක පාර්ශවීය ලෙස පැමිණිල්ල සලකා බැලීම විනිසුරුවරිය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැමිණිල්ල සලකා බැලීම ලබන 15 වැනිදාට කල් තැබිණි.
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක‍්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත නීතීඥ නියෝමාල් පැල්පිට මහතා පෙනී සිටියේය.

