යුද හමුදා ඇඳුම් තොගයක් ඇතුළු ආයුධ රැසක් වලස්මුල්ලෙන් සොයාගනී


(අනීෂා මානගේ)

වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ බව කියන විවිධ වර්ගයේ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක්, ලාංඡන, පතුරොම් තොගයක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, කඩු දෙකක් සහ ජීව අත් බෝම්බයක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පාතාල කල්ලි සාමාජිකයකුගේ සමීපතමයකු අද(20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පදිංචි උදේනි නොහොත් කිරියා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන 58 හැවිරිදි පුද්ගලයකු බවත් මොහු බැරල් සුනිල්ගේ සමීපතමයකු වන බවට හඳුනාගෙන ඇතැයි නිලධාරිහු කියති. මොහු යුද හමුදාවේ සේවය හැර ගිය අයකු බවද විශේෂ කාර්යය බළකායේ නිලධාරිහු කියති.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පිහිටි නිවෙසෙහි කාමරයක අල්මාරියක් යට බංකරයක් සාදා මෙම භාණ්ඩ තොගය සඟවා තිබියදී සොයාගෙන තිබිණි.

මෙලෙස සොයාගත් භාණ්ඩ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පතුරොම් දමන ගිනිඅවියක්, ටී56 ජීව උණ්ඩ 105ක්, ටී56 පුහුණු වීම් සඳහා යොදාගන්නා උණ්ඩ 21ක්, එල්එම්ජී අවි පුහුණුවීම් සඳහා යොදන උණ්ඩ 2ක්, එස්ජී වර්ගයේ ජීව පතුරොම් 8ක්, කඩු 2ක්, කෙටේරියක්, බයිනෙත්තු පිහියක්, ටී56 අවි සඳහා යොදන අවි පටි 3ක්, යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටල 5ක්, යුද හමුදාවේ ගැමුණු බළකාය භාවිතා කරන ඇඳුම් කට්ටලයක්, යුද හමුදාවේ ඇඳුම් සඳහා භාවිත කරන කොළ පැහැ රෙදි යාර 12ක්, හමුදා බෙර තොප්පි 8ක්, කොළ පැහැ නිල ඇඳුම් කට්ටල 6ක්, කැමා වර්ගයේ ටී ෂර්ට් 5ක්, යුද හමුදාවේ නිලධාරින් භාවිතා කරන කෑම පෙට්ටි 5ක්, කෑලෑ නිල ඇඳුම් තොප්පියක්, ගැමුණු බළකායේ නිල ඇඳුම් සඳහා භාවිත කරන තොප්පියේ ලාංඡන 3ක්, බඳ පටි 4ක්, ආර්ටි හිස් කොපු 3ක්, ටී56 අවි පිරිසුදු කිරීමේ කට්ටලයක්, යුද හමුදා නිලධාරින් කැලෑ ගමන් සඳහා ගමන්කරන වතුර බෝතලයක්, කොළ පැහැ යුද හමුදා කොට කලිසමක්, ලාජ් බැජ් 3ක්, යුද හමුදා බූට් සපත්තු ජෝඩුවක් විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබිණි.