යුද අපරාධ සිදු වු බව පිළිගන්නා ලොව එකම ඇමැතිවරයා ලංකාවේ විදේශ ඇමැතිවරයායි


(ආරියරත්න රණබාහු)

යුද අපරාධ සිදු වූ බව පිළිගන්නා විදේශ ඇමැතිවරයෙක් ලොවෙහි සිටී නම් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා පමණක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු හිටපු රියර් අද්මිරාල් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව නිවැරදි ලෙස අධ්‍යයනය කර ඊට පිළිතුරු දීමට දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට තිබූ බව පැවසූ වීරසේකර මහතා එයින් ඵල  ලබාගැනීමට ඔවුන් අපොහොසත් වූ බව ද  පැවසීය.

ඒ හේතුවෙන් එම යෝජනාව මහ සමුළුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී එය පදනම් කරගෙන ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද කීය.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කළ ඇමෙරිකාව පවා අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට දෝෂාරෝපණය කරමින් මේ වනවිට ඉන් ඉවත් වී ඇති බව සඳහන් කළ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා එය අවස්ථාවක් කරගනිමින් කටයුතු කිරීමට ලක් රජය සූදානම් විය යුතු බව ද කීය.

එල්.ටී.ටී.ඊ. සන්විධානයට එරෙහිව පසුගිය කාලයේ රට අභ්‍යන්තරයේ පැවති යුද්ධය මානුෂීය සන්නද්ධ අරගලයක් මිස මානව හිමිකම් කඩකිරීමක් නොවිය යුතු යැයිද හෙතෙම පැවසීය.

එම නිසා මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බව ද අවධාරණය කළේය.

එහෙත් වත්මන් රජයේ පාලකයන් පන්සල් සහ වෙනත් විවිධ ස්ථානවලට ගොස් යුද අපරාධ නොකළ බවට කෑ ගසන නමුත් එය කිවයුතු ජිනීවා සමුළුවට ගොස් නොපවසන බව ද කීය.

ශ්‍රි ලංකාව යුද අපරාධ කළ බවට පිළිගැනීම හේතුවෙන් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ වැනි රණවිරුවන්ට ඕස්ට්‍රේලියාවට යෑමට වීසා නොලැබෙන බව ද වීරසේකර මහතා පැවසීය.

රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.