(එම්.කේ. නන්දසේන)
කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් යාල කලාප තුන ගල්ගේ සීමාවේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගංජා හේන් තුනක් වටලා රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති ගංජා වගාවක් විනාශ කරබව කඳවුරු භාර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා පැවසීය.
මෙම හේන් තුන අක්කර බාගෙ, අක්කර කාල යනාදී වශයෙන් එකකට එකක් කිලෝමීටරයක් පමණ වනසේ දුරින් පිහිටුවා තිබූබව කියයි. එක් හේනක අඩි හයක් පමණ උසට වැවී පැසී කැපීමට ආසන්නව තිබී ඇති අතර, අනෙක් හේනතුලද සරුවට වැවී මල් පිපී තිබී ඇත.
තුන්වන හේන තුල විශාල ප්‍රමාණයේ ගංජා පැල තවන් තුනක් තිබී ඇති අතර අඩියකට වඩා උසට වැඩුනු පැල 3500 ට ආසන්න ප්‍රමාණයක් ගලවා විනාශකර තිබේ.
වැටලීම සිදුකල අවස්ථාවේදී ඒවායේ හිමිකරැවන් කිසිවෙකු හේන් තුළ නොසිටි බවත්, එක් හේනක තිබූ වාඩි පැල ඇතුළු හේන් තුනෙහිම තිබූ වගාවන් ගිණිතබා විනාශ කොට අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා ලබාගත් සාම්පල් ගලගේ වනජීවී කාර්යාලය වෙත බාරදුන් බවත් වැටලීම් සිදුකල නිළධාරිහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ගාල්ල, හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි විදුරනාථ දිසානායක, හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි යූ.අබේරත්න මහත්වරුන්ගේ උපදෙස් මත කඳවුරු බාර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂකවරුන් වන එචි.කේ.එන්.ඒ විජේරත්න, ආර්.එන්.ටී. ඊ.කේ.රත්නායක, සැරයන් 66840 හිටිසේකර,කොස්තාපල්රුන් වන 86929 අචිර, 88416 සමීර, 83613 රසික, 92107 ජයසූරිය, 92292 විජේසූරිය, රියදුරු 73928 එදිරිසිංහ යන නිළධාරිහු මෙම විශේෂ වැටලීම සිදුකළහ.





