
(සිරංගිකා ලොකුකරවිට, ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී සුගතපාල)
යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ දැනට මාස තුනකට පමණ පෙර රජය විසින් මෙම තහනම පනවා තිබේ.
යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසන්නේ කඩකාමර කුලී ගෙවීම්, සේවක පඩිනඩි ගෙවීම්, බැංකු ණය සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දරුණු ඛේදවාචකයකට පත්ව ඇති බවයි.
ඔවුන් මේ බව පවසා සිටියේ යතුරුපැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය විසින් අද (27) ගාල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු පළාතේ සියලුම යතුරුපැදි අලෙවි නියෝජිත ආයතන නියෝජනය කරමින් 350 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දක්වමින් දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අසිත පෙරේරා මහතා මෙසේ පැවසීය.
"රජයේ මෙම තීරණය නිසා දිවයින පුරා විසිරී සිටින යතුරු පැදි අලෙවි නියෝජිතයන්, සේවා ආයතන, කඩ හිමියන් සහ යැපෙන්නන් ඇතුළු විශාල පිරිසකගේ ජීවනෝපාය දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
හෙල්මට් නිෂ්පාදකයින්, ශීට් කවර නිපදවන්නන් ඇතුළුව මෙම ව්‍යාපාරයේ වක්‍රාකාරව ඇති රැකියා අවස්ථා සියල්ල කඩා වැටිලා.
දැනට තිබෙන යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මාසයේ අලෙවි කිරීමට පමණයි. අගෝස්තු මාසයේ සිට ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට දැඩි අපහසු තත්ත්වයක් උදාවී තිනෙවා.
අපගේ මව් සමාගම් මේ තත්ත්වය සම්බන්ධව අදාල බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් මෙතෙක් කිසිම විසඳුමක් ලැබී නැහැ.
මේ සමස්ථ ව්‍යාපාරය මගින් වාර්ෂිකව ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 122 ක පමණ දායකත්වයක් ලබා දෙනවා. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.”

