යතුරු පැදිය දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල අද (23) සවස යතුරු පැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ යතුරු පැදිය ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

මෙම අනතුරින් මියගොස්  ඇත්තේ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි රනිදු බද්දෙවිතාන නැමැති 16 හැවිරිදි තරුණයෙකු සහ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි තාරුක දිල්ශාන් නැමැති 24 හැවිරිදි තරුණයෙකි.

එම දුම්රිය හරස් මාර්ගයේ සේවය කළ මුරකරු නැවත ලබා දෙන්නැයි පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයකද නිරතවූහ.

මෙම සිද්ධියත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කිරීමට තිබෙන දුම්රියන් හයක් බේරුවල, මග්ගොන, පයාගල ,දකුණු කළුතර දුම්රිය ස්ථානයන්හි නතර කර තිබූ අතර මාතර සිට මහනුවර දක්වා ගමන් කරන දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබුණි.

මෙම විරෝධතාවය හේතුවෙන් නවතා තිබූ දුම්රියන් තුළ සිටි මගීහු දැඩි අපහසුතාවයකට පත්වූහ.

පැය තුනකට අධික කාලයක් මෙම විරෝධතාව පැවැත්විණි.