යකුන්ට බය නැති මිනිහාගේ නිවස ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්


(ජුඩ් සමන්ත)


ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේ සොහොන් බිමක ඉදිකර තිබූ නිවසක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී   උණුසුම් තත්ත්වයක්  ඇති  බව පොලීසිය පවසයි.


හලාවත  මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් සහ  නියෝජ්‍ය පිස්කල් රේණුකා ප්‍රේමවර්ධන මෙනවිය ඇතුළු අධිකරණ නිලධාරීන් නිවස ඉදිකර තිබූ ස්ථානයට පැමිණීමෙන් පසුව ගම්වැසියන් හා  මෙම තත්ත්වය  ඇති විය.


මානාවේරිය පොදු සුසාන භූමියේ කොටසක ඩබ්ලිව්.නෙවිල් සුසන්ත යන අය නිවසක් තනාගෙන තම දරු පවුල සමඟ පදිංචිවී සිට ගොස්  ඇති   අතර ඔහු අනවසරයෙන් එහි පදිංචි සිටින බවට  චෝදනා කරමින් ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර  තිබිණි.


එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව නෙරපීමේ ඇස්කිසී නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් 2013 වර්ෂයේදී නිකුත් කර  තිබුණද ඔවුන්  අදාල ඉඩමෙන් ඉවත් නොවී තව දුරටත් පදිංචිවී සිටීම හේතුවෙන් අධිකරණ  නිලධාරීන් ඊයේ (29) පැමිණ එම නිවස ඉවත් කිරීමට කටයුතු  කළේය.


එම අවස්ථාවේදී ගම්වාසීන් එක්ව ඔවුන්ගේ  විරෝධය පල කර   ඇති   අතර අධිකරණ නියෝග වලට තමන් අභියෝග කිරීමක් හෝ විරෝධයක් නොදක්වන නමුත් එක් වරම මෙම දරු පවුල එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ගම්වාසීන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරියගෙන් ඉල්ලා සිටියේය.
 
 නමුත් අධිකරණ නියෝගයට අවතන වනවා හැර වෙනත් දෙයක් තමන්ට කළ නොහැකි බව පැවසු ඇය මෙම අධිකරණ නියෝගය ලබා දී ඇත්තේ 2013 වර්ෂයේ දී වන බැවින් එතැන් සිට මෙම අයට වෙනත් ස්ථානයක් පදිංචිය සදහා තෝරා ගැනීමට අවස්ථාව තිබූ බවද රෙජිස්ටාර්වරිය  පැවසුවාය.


අනතුරුව අනවසරයෙන් පදිංචිව සිටි අයගේ නිවසේ තිබූ ගෘහ උපකරණ අධිකණ නිලධාරීන්ගේ උපදෙස් මත ඉවත් කිරීම සිදු කරන ලදි.ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා ඇතුළු නිලධාරීන් පැමිණ එම ස්ථානයට  ආරක්ෂාව සැපයීය.


අධිකරණ නිලධාරීන් විසින් ඉවත් කරන ලද ගෘහ භාණ්ඩ හලාවත - පුත්තලම මාර්ගයේ ඇති හිස් ස්ථානයක තාවාකලික ඉදිකරන ලද කූඩාරමක තැම්පත් කිරීමට ගම්වාසීන් කටයුතු කරන ලදි.


ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් රැසක් සිටින විට කම්කරුවෙකු ලෙස දරුවන් දෙදෙනෙකු සමග ජීවත් වන එක් අයෙකුට එරෙහිව පමණක් ප්‍රාදේශීය ලේකම්වරයා අධිකරණ නියෝග ගැනීම අසාධාරණ බව එම ස්ථානයට එක් රැස්වී සිටි ගම්වාසීහු පැවසුහ.