ජුඩ් සමන්ත
ඉන්දීය සමාගමක් විසින් මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ උණුකර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව පැවති විරෝධතාවයක් හේතුවෙන් මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට පැයකට වැඩි කාලයක් බාධා එල්ල විය.
මාදම්පේ - සුදුවැල්ල පිහිටි එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී මාදම්පේ - කුලියාපිටිය මාර්ගය හරස් කරමින් මෙම විරෝධතාවයේ නිරතවුහ.
අධිකරණය විසින් මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව නියෝග දෙකක් ලබා දී තිබිය දී එම නියෝග නොතකමින් ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇති බව විරෝධතාකරුවෝ කියති.
ප්‍රදේශයට දැඩි පාරිසරික හානියක් සිදු කරන මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව මේ වන විට විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දී සිටින බවද ඔවුන් කියා සිටියේය.
මෙම කර්මාන්ත ශාලාවට වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමක් මේ වන තුරු සිදුකර නොමැති බව අප කළ විමසීමකදී හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා පැවසීය. එමෙන්ම ඉදිරියේ දී මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හලාවත ප්‍රාදේශීය සභාවේ සියළු සභිකයින් පසුගිය 16 වැනි දා ඒකමතිකව තීරණය කළ බවද හෙතෙම කියා සිටියේය.
මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලයෙන් වන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අවසර ඇත්තේ වයඹ පළාත් පරිසර අධිකාරියට බව මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවසීය.
ගම්වාසීන් විසින් කර්මාන්ත ශාලාවට එරෙහිව සකස් කරන ලද ලිපියක් ද මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදෙන ලදී.
මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් මේ වන විට විශාල පාරිසරික ගැටළු මතුවී ඇති බවත්,ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී නිලධාරීන් සහ දේශපාලකයින් මුනිවත රකින බව සුරැකෙමු ලංකා ව්‍යාපාරයේ පාහිංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.
විරෝධතාවය පැවති ස්ථානය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි.