(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඔබ තුමන් මහේස්ත්‍රාත්වරයෙක් බව මම දැනගත්තේ අද පත්තරවල වලින් ඒ වෙන තෙක් ඒ බවක් මම දැන සිටියේ නැහැ. අනේ සර් මට සමාවෙන්න නැති බැරිකමටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම් යැයි කියා අඩංගුවට ගැනීමට හොයන සැකකරු පවසා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
සැකකරු කළේ යැයි කියන මෙම ප්‍රකාශයට අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමට ගොස් නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
අතිරේක දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු අතිරේක දිසා විනිසුරුවරයාට කතා කිරීමට යොදා ගත් ජංගම දුරකථන අංකය ඔස්සේ ඔහු සිටින ඉසව්ව හොයාගෙන අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා මෙහෙයුමක් දියත් කර ඇත.
අතිරේක දිසා විනිසුරුවරයා ඔහුට අයත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස විකිණීමට පළකර තිබූ දැන්වීමක් අනුව නිවස මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයකු විනිසුරුවරයා නිවසේ ඉහළ මහලේ කාමරයක සිරකර රථය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය එකොළොස් වැනිදාය.
පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

