මෛත්‍රිගෙන් නිදහස් රාජ්‍ය සේවයක්


බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.

දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.

යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.

තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය.

අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය.

එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති. වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි. 

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ.

01 02 03 05 07 08