මීගමුවේ කඳවල කඩා වැටුණු කුළුන ඕලන්ද කුළුනක් නොවන බවත් එය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකෝණමිතික ජාලයේ බස්නාහිර පාදක රේඛාවේ උතුරු අන්තය වන කඳවල කුළුන බවත් ලියාපදිංචි බලයලත් මිනින්දෝරු සුනිල් සෝමසිරි මහතා පවසයි.
ගාල්ල කොටුවේ දී 1800 අගෝස්තු 02 දා ඇරඹි මිනින්දෝරු දෙපාර්තමෛ්න්තුවේ ආරම්භක මිනුම්පති බ්‍රිතාන්‍ය ජාතික ස්නයිදර් මහතා ඇතුළු ආරම්භක මිනින්දෝරුවෙන් පස් දෙනා මුලින්ම මිනුම් කටයුතු අරඹා ඇත. ශ්‍රී ලංකාවේ හැඩය නිවැරදිව දැන ගැනීම සඳහා 1857 දී ත්‍රිකෝණමිතික ජාලයක් සකසා ඇති අතර එහි ආරම්භක පාදක රේඛාවේ උතුරු අන්තයේ මේ කුළුන පිහිටා ඇත. එය ඉදිකර ඇත්තේ මිනුම්පති ගොසෙට් මහතාගේ උපදෙස් පරිදිය.අඩි 125ට වඩා උසකින් යුත් කුළුන නිමවා ඇත්තේ ගඩොලිනි. එහි මැද තඹ තහඩු ස්ථාපිත කර තිබූ බැවින් වැරදි වැටහීමකින් කුළුන කඩා දමන්නට ඇතැයි ද සැකයක් පවතින බව සෝමසිරි මහතා කියයි. කටුනායක හල්ගස්තොට ද, මඩකලපුවේ ද මෙවැනි කුළුනු තවමත් දක්නට ලැබෙයි.
සෝමසිරි මහතා පවසන්නේ 2000 වර්ෂය දක්වාම මේ කුළුනු මිනුම් කටයුතු සඳහා භාවිතා කළ බවයි. වර්තමානයේ චන්ද්‍රිකා තාක්ෂණය බාවිතයෙන් ස්ථානයක් නිවැරදිව හඳුනාගැනීමේ ගෝලීය ස්ථානී්‍ය පද්ධතිය (ජී.පී.එස්.) තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නා බැවින් භාවිතයෙන් ඉවත්කැර ඇත. එසේ වුව ද ඓතිහාසික හා අධ්‍යාපනික වටිනාකමක් ඇති බැවින් මෙය මිනින්දෝරු සිසුන්ගේ විශේෂ අවධානයට ලක්විය.
මේ කුළුන සංරක්ෂණය කළ යුතු සම්පතක් ලෙස හඳුනාගෙන තිබූ බවත් වසර සියයකට වඩා පැරණි බැවින් එය ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් ඔහු පවසයි. මේ කුළුනුවල වැදගත්කම සළකා බලා ඉතිරිව ඇති කුළුනු සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ද මිනින්දෝරුවරු ඉල්ලා සිටිති.

