මීගමුව හෝටලයක ගැටුමට සම්බන්ධ 6දෙනෙකු අත්අඩංගුවට


(හියුබට් ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුවේ හෝටලයකදී පුද්ගලයන් පිරිසක් කළ පහරදීමකින් සේවකයකු මිය යාම සහ එහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් 6දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(10) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන, කිඹුලාපිටිය හා කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් 6දෙනෙකි.

ඊයේ(09) රාත්‍රියේදී හෝටලයේදී ඇති වූ අරාවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති අතර, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, මොහමඩ් අසීස් නමැත්තෙකි.

පහරදීමෙන් තුවාල වූ පුද්ගලයකු කොළඹ ජාතික  රෝහලට මාරු කර ඇත.

මියගිය අයගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබා දෙන ලෙස මීගමුව  වැඩ බලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස  මහතා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය. අනතුරුව දේහය මියගිය අයගේ බිරියට බාරදීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.