
(මනෝප්‍රිය ගුණසේකර)
මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය.
බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් පිළිබඳව රහස් පොලිසිය විසින් සිදුකර විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේ එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනෙකි.
මීගමු බන්ධනාගාරය තුළ සිදුවු බව කියන විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන වලදී හෙළි වු කරුණු නීතීපතිවරයාට දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් පැවසුවාය.
ඒ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මොවුන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසත් ඒ අනුව ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

