(අතුල බණ්ඩාර)
ඓතිහාසික මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනකු අද දහවල් අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
පොලිසිය ළද තොරතුරක් මත ,පුරාවිද්‍යා නිලධාරින්ද සමග ගොස් පොලිසිය මෙම වැටලීම සිදුකරණ විට කටාරම් කෙටූ ගල්ලෙනක් ළඟ අඩි දහයකට වඩා විශ්කම්භයකින් යුත් වළක් අඩි පහළොවක් පමණ ගැඹුරට සැකකරුවන් විසින් හාරමින් සිටි බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු පවසති.
සැකකරුවන් සමග ඔවුන් නිධන් හැරීමට යොදාගත් උපකරණ හා පුදපුජා පැවැත්වීමට භාවිතා කළ පුජා භාණ්ඩද සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනාගෙන් තුන්දෙනකු අනුරාධපුර පෙරිමියන්කුලමේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. තවත් තුන්දෙනු එප්පාවල,කටියාව,යාය -1 ,ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අනෙක් පස්දෙනා කළුතර පනාපිටිය,කඹුරාවල,බදුරලිය,තෙඹුවන සහ වස්කඩුවේ පදිංචිකරුවන් බව ඔවුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත.
මේ අතරින් නිධානය ගැනීමට පුදපුජා පැවැත්වූ කට්ටඩියා , කළුතර පනාපිටියේ පදිංචි කරුවකු බවත් , මේ සැකකරුවන් සියලු දෙනාම අවුරුදු 23 ත් 35 ත් අතර වයසේ අය බවත් පොලිසිය කියයි.

