(සංජය මදුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයට කැළි කසල බැහැර කිරීමට පැමිණි පුද්ගලයකු හා සෆාරි ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තියත් සමඟ හබරණ ප්‍රදේශයේ සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති අතර සමහර සංචාරක හෝටල් තම හෝටල් පරිශ්‍රයේ ඉතුරුවන කැළි කසල මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළට දමා යාම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබේ. හබරණ පොලීසියේ ස්ථානාධිපති වසන්ත පිටිගල මහතාට ප්‍රදේශවාසියකු ගෙන් ලැබුණු තොරතුරකට අනුව හබරණ පොලීසියේ අපරාධ අංශය හා පරිසර අංශය මගින් කුණු බැහැර කරන පුද්ගලයින් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.
හබරන කඩහත වැව හත ඉස්මත්තේ පිහිටි සංචාරක හෝටලයකට අයත් ජිප් රියකින් පැමිණ කුණු බැහැර කිරීමට යාමේදී අද (22) උදෑසන සැඟවී සිටි පොලිස් නිලධාරීන් කුණු සමග පැමිණි ජීප් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් ජීප් රථයේ අදාල සංචාරක හෝටලයේ නම සඳහන් කර තිබූ අතර එයින් බැහැර වන කැළි කසල මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහැර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් ලබන 26 වැනි දා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හබරණ පොලිසිය පවසයි.




