මැන්ඩෙලා ජනාධිපති පේ‍්‍රමදාස මහතාට ටෙලිෆෝන් කිරීම අපි දකුණු අපි‍්‍රකාවට සහයෝගය දෙන්න හේතුවක් වුණා


මතක පොත II

1950 දශකයේ සිටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අතරට එක්වූ නීල් පෙරේරා මහතා, දශක හයකට වැඩි කලක් ශී‍්‍ර ලාංකේය කි‍්‍රකට් පිටියේ සාර්ථකත්වය සියැසින් දුටු අයකු මෙන්ම බොහෝ අර්බුද හමුවේත් නොසැලී සිටි අයෙකි. නීල් පෙරේරා මහතාගේ අත්දැකීම් මතක පොතේ II වැනි කොටසේ සටහන් වන්නේ මෙලෙසිනි.

-------------------------------------------------------------

අද නම් කි‍්‍රකට් කී‍්‍රඩකයන් තරගවලි සඳහා පිටරට සංචාරවලට යන්නේ දිගාමඬුල්ලේ ඉන්න අය කොළඹ එනවාටත් වඩා පහසුවෙන්. ඒත් 1974 ඉන්දීය සංචාරය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම පිටත්ව ගියේ කරාබුනැටි රාත්තල් 2 කුත් අරගෙන. ඒ ඇයි?

1974 අපට ආරාධනාවක් ලැබුණා සති හයක (මාස එක හමාරක) ඉන්දීය සංචාරයකට. මේ සංචාරයේ අපට ගමන් කරන්න තිබුණේ දුම්රියේ.
කණ්ඩායමේ නායකයා වුණේ අනුර තෙන්නකෝන්. දුලිප් මෙන්ඩිස්, ඬේවිඞ් හයින්, රෝයි ඩයස්, බන්දුල වර්ණපුර, රංජිත් ප‍්‍රනාන්දු, ටෝනි  ඕපාත, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, රසල් හාමර් වගේ අයත තමයි කණ්ඩායමේ හිටියේ... ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම දැන් ඉන්න කණ්ඩායමටත්  වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
සති හයක සංචාරයක් වුණත් එක්කෙනෙකුට රටින් පිට ගෙනියන්න දෙන්නේ පවුම් තුනයි සිළිං 10 ක විතර මුදලක්. ඒ කියන්නේ රුපියල් 35 ක් විතර. කණ්ඩායමේ කළමනාකරු හැටියට මට හම්බවුණේ රුපියල් 1000 යි. ඒත් රට යන සෑම කෙනෙකුටම කරාබු නැටි රාත්තල් දෙකක් ගෙනියන්න පුළුවන්. කරාබුනැටි රාත්තල් දෙකකට ඉන්දියාවෙදි ලෙකු ගාණක් ගන්න පුළුවන් නිසා අපි කරාබු නැටි රාත්තල් 2 ක් ගෙනිච්චා.

 

50 ගණන් වලත් 60 ගණන් වල වැඩ කරන අයම හැමදාමත් වෙහෙස වෙන්න වුණා. මේ වගේ තත්ත්වයක් තිබියදීත් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තනතුරු වලට එන්න ඒ කාලයේ අයගේ තිබුණ උනන්දුව කොහොමද?

ඒ කාලයේ එහෙම උනන්දුවක් තිබුණේ නෑ. ඒත් කී‍්‍රඩාවට ආදරය කළ මිනිස්සු කී‍්‍රඩාව වටා එක්කාසු වෙලා හිටියා.
ඒ කාලයේ තිබුණ ලොකුම තරගාවලි තමයි ‘සරා’ (පී. සරවනමුත්තු) කුසලාන සහ ‘රහිමන් හාති’ කුසලාන තරගාවලි. පී. සරවනමුත්තු කියන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පළමු වැනි සභාපතිවරයා. රහිමන් හාති කියන්නේ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු භාණ්ඩාගාරික වරයෙක්. මේ වෙනකොට ‘ඬේලි නිවුස්’ කුසලාන තරගාවලිය III පෙළ තරගාවලියක් බවට පත්වෙලා තිබුණත් ඊටත් ඉස්සසෙල්ලා ‘ඬේලි නිවුස්’ කුසලාන තරගාවලිය තමයි ලංකාවේ ලොකුම කි‍්‍රකට් තරගාවලිය වුණේ.
ඉතින් මේ කාලයේත් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තනතුරු දරන්න උනන්දු වුණ පුද්ගලයන් හිටියා. ඒත් ඒක ඔවුන්ගේ හිත පතුළෙන්ම ආපු අවංක උනන්දුවක් මිසක් මුදල් හොයන්න හරි ප‍්‍රසිද්ධිය ලබාගන්න හරි තිබුණ උනන්දුවක් නෙමෙයි.

 

කී‍්‍රඩා නීතිය බිහිවෙන්න පෙර, රොබට් සේනානායක මහතා තමයි වසර 17 ක් විතර කාලයක් එක දිගට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති වෙලා හිටියේ. ඔහු කොහොමද මේ තරම් දීර්ඝ කාලයක් එක දිගට සභාපති වුණේ?

ඔහු සැබෑ මහත්මයෙක්. කාගෙවත් වැඩ වලට අනවශ්‍ය පරිදි ඇගිලි නොගහන, දක්‍ෂ අයට ඔවුන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩදෙන වැදගතෙක්.
ඔහුට විශාල සහයෝගයක් තිබුණා හැමෝගෙන්ම. ඩෙනිස් හපුගල වගේ අයත් ඔහු සමග හිටියා. ඒ වෙනකොටත් භාණ්ඩාගාරික වෙලා හිටි රහිමන් හාති මහතා වසර 10 ක් විතර ඒ තනතුරේ හිටියා. අසීරු වැඩ කළේ අපි. අපි හැම දෙයක්ම කළේ අපේම මුදල් වලින්..
මේ කාලයේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ (එකළ අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුව) රැස්වීම් වලට යන්නවත් අපට මුදල් නෑ. ඒත් වාසනාවට වගේ රොබට් සේනානායක මහතාගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඔහුට සෑම වසරකම වරක් දෙකක් ජර්මනියට යන්න සිදුවෙනවා. මේ නිසා රොබට් සේනානායක මහතා ඔහුගේ මුදල් වලින් ජර්මනියට ගිහිල්ලා,.. ඒ ගමන්ම ලන්ඩන් නුවරට ගිහින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමටත් ඉඳලා තමයි එන්නේ.

                                                                 

ඉන්දියාවටත් කී‍්‍රඩා කළ, පසුව පාකිස්තානයේ පළමු ටෙස්ට් නායකයා වුණ අබ්දුල් හෆීස් කාදර් ලංකාවට ටෙස්ට් තත්ත්වය අරන් දෙන්න බොහෝ උත්සාහ කළා නේද?

ඔහු එංගලන්තයේ ඔක්ෆර්ඞ් විශ්ව විද්‍යාල පිලටත් කී‍්‍රඩා කරපු, නියම මහත්මයෙක්. හුගක් අමාරු අවස්ථාවලදී ශී‍්‍ර ලංකාවට උදව් කරපු, හොඳ කෙළින් මිනිහෙක්.
1973 දී අපටත් ටෙස්ට් තත්ත්වය දෙන්න කියලා ඉල්ලීමක් තිබුණා. අපි වෙනුවෙන් යෝජනාව ඉදිරිපත් කළේ අබ්දුල් හෆීස් කාදර් මහතාමයි. ඒත් ඒ වෙනකොට  ඕස්ටේ‍්‍රලියාවටත් එංගලන්තයටත්  නිෂේධ බලය තිබුණ නිසා ටෙස්ට් තත්ත්වය ලබාගන්න අප කරපු ඉල්ලීම සාර්ථක වුණේ නෑ.
මේ ගැන අබ්දුල් හෆීස් කාදර් මහතා හොඳටම කෝප වෙලායි හිටියේ. වතාවක් අයි. සී. සී. රැස්වීමට රොබට් සේනානායක මහතා ගිය වෙලේ අබ්දුල් හෆීස් කාදර් කියලා තියෙනවා අපි ආසියානු කි‍්‍රකට් සංගමයක් හදමු කියලා. මොකද මේ නිෂේධ බලය හින්දා අයි. සී. සී. එක ඇතුළේ  ඕනෑ  ඕනෑ දේවල් කරන්න  ඕස්ටේ‍්‍රලියාවටත් එංගලන්තයටත් පුළුවන්කම තිබුණ නිසා.
අයි. සී. සී. රැස්වීමට ගිහින් ඇවිත් එතැන වුණ සෑම දෙයක්ම රොබට් සේනානායක මහතා අපට කිව්වා. ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තත්ත්වය නොදීම ගැන අයි. සී. සී. රැස්වීමේදී අබ්දුල් හෆීස් කාදර් මහතා බොහොම තදින් කතා කරලා තියෙනවා.
” ඕස්ටේ‍්‍රලියාවටත් එංගලන්තයටත් වඩා ශී‍්‍ර ලංකා කණ්ඩාමත් එක්ක අපත් (පාකිස්තානය) ඉන්දියාවත් කී‍්‍රඩා කරලා තියෙනවා. ඔවුන්ගේ (ශී‍්‍ර ලංකා පිලේ) දස්කම් වල තත්ත්වය  ඕගොල්ලන්ට වඩා හොඳින් අප දන්නවා....ඔවුන් අප දෙගොල්ලන් තරමටම දක්‍ෂයි”
”ශී‍්‍ර ලංකාවට පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) දෙන්නේ නෑ කියන්නේ වර්ගවාදී ලෙසින් වෙනස්කම් කිරීම මිසක් අනෙකක් නොවෙයි” කියලා ඔහු අයි. සී. සී. රැස්වීමේදී කියලා තියෙන්නේ ලෝඞ්ස් රැස්වීමේ මේසයට අත මිටමොළවා තදින් පහරක් ගසමින්.

 

මේ සේරම කෙරෙන අතරේ හදිසියේම කී‍්‍රඩා නීතිය ආවේ කොහොමද?. මොකක්ද මේ කී‍්‍රඩා නීතිය ගෙන ඒමේ පසුබිම?

ඇත්ත කතාව නම් ඔවුන්ට  ඕනෑ කරලා තිබුණා රොබට් සේනානායක මහතාව කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කරන්න. රොබට් සේනානායක කියන්නේ ඩඞ්ලි සේනානායක මහතාගේ සොහොයුරා.
ඔහු දිගින් දිගටම කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වුණා. ඉතින් ඔවුන්ට උවමනා කළේ රොබට් සේනානායක මහතා මේකෙන් ඉවත් කරන්න. ඒක දේශපාලන උවමනාවක්. දේශපාලනය එදත් තිබුණා. ඒත් කී‍්‍රඩා අමාත්‍යංශය මේකට ඇගිලි ගහන්න ගත්තේ 1996 දී ලෝක කුසලාන දිනාගත්තට පස්සේ සල්ලි ගලන්න පටන් ගත්තට පස්සෙයි.

 

ඒ කාලයේ දේශපාලනඥයන් සමග ගනුදෙනු කළේ කොහොමද?

මා කි‍්‍රකට් පරිපාලනයේ ඉන්න කාලයේදී හුගක් දේශපාලනඥයන් සමග කටයුතු කළා. ලක්‍ෂමන් ජයකොඩි, ගාමිණි දිසානායක, ටිරෝන් ප‍්‍රනාන්දු වගේ අය එක්ක. ඇත්තටම අපට කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. මොකද ඒ දේශපාලනඥයන් වැඩි දෙනෙක් හොඳ මහත්වරුන් නිසා. ඔවුන් කිසිම අවස්ථාවකදී අපට කිසි දෙයක් බල කරලා කීවේ නෑ.

 

1983 කැරළිකාර දකුණු අපි‍්‍රකානු සංචාරය ඔබ දකින්නේ කොහොමද?

ඕක දිග කතාවක්....1974 ඉඳන්ම ටෙස්ට් තත්ත්වය ලබාගන්න අපි කොයිතරම් දුක් වින්දාද කියලා දන්නේ ඒ කාලයේ හිටපු අය තමයි. ඒත් අපට ටෙස්ට් තත්ත්වය ලැබුණේ නෑ. පස්සේ කොහොමින් හරි අපට ටෙස්ට් තත්ත්වය පිරනමන්න අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුවේ නිලධාරීන් කැමති කරවාගන්න ගාමිණී දිසානායක මහතා සමර්ථ වුණා. ඒකට මූලික හේතුවක් වුණේ ඔහුගේ තිබුණ විශිෂ්ට කථිකත්වය.
දකුණු අපි‍්‍රකාවේ ඒ වෙනකොට තිබුණ නරක තත්ත්වය නිසා ඔවුන්ව අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුවෙන් විතරක් නෙමෙයි, පොදුරාජ්‍ය මණ්ඩලයෙනුත් ඉවත් කර දමලයි තිබුණේ. එහෙම තියෙද්දිත් මෙන්න අපේ අය පිරිසක් කි‍්‍රකට් ගහන්න දකුණු අපි‍්‍රකාවට යනවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද?  
මේ සංචාරය නිසා අපේ අති දක්‍ෂ කී‍්‍රඩකයන් කී දෙනෙක් අපට නැති වුණාද? අජිත් ද සිල්වා කියන්නේ ඒ වෙනකොට හිටිය දක්‍ෂතම වමත් දග පන්දු යවන්නා. ලලිත් කළුපෙරුම, බර්නාඞ් පෙරේරා, අනුර රණසිංහ වගේ දක්‍ෂතම කී‍්‍රඩකයන් ගණනාවක් අපට නැතිවුණා.

 

ඒත් 1991 දි දකුණු අපි‍්‍රකාව නැවතත් කි‍්‍රකට් ලෝකයට ගෙනාපු වෙලාවේ ශී‍්‍ර ලංකාව ඊට ඉහළම සහයෝගයක් දුන්නා. ඒ වෙනකොට ඔබත් කි‍්‍රකට් පාලක මණ්ඩල විධායක කමිටුවේ හිටියා නේද ?

ඒ වෙනකොට දකුණු අපි‍්‍රකානු නිදහස් ව්‍යාපාරයේ හිටපු නායකයා වුණ නෙල්සන් මැන්ඩෙලා සිරගෙයින් නිදහස් කරලයි හිටියේ. ඔහුත් ඒ වෙනකොට තිබුණ දකුණු අපි‍්‍රකානු සුදු ආණ්ඩුවත් අතරේ එක්තරා විදිහක එකගතාවක් තිබුණා.
මේ අතරවාරයේදී නෙල්සන් මැන්ඩෙලා අපේ ඒ වෙනකොට හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාට කතාකරලා නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයට එන්න ශී‍්‍ර ලංකාවේ සහයෝගය ඉල්ලලා තිබුණා. මේ නිසා ජනාධිපති පේ‍්‍රමදාස මහතාට  ඕනෑකම තිබුණේ අපි දකුණු අපි‍්‍රකාවට සහයෝගය දක්වන්නයි.

මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර දැරූ ටිරෝන් ප‍්‍රනාන්දු මහතා විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයාද වී සිටියේය.

තත්ත්වය මෙහෙම තියෙද්දී ආචාර්ය අලි බකර් මහතා (දකණු අපි‍්‍රකානු පිල අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුවෙන් ඉවත් කිරීමට පෙර දකුණු අපි‍්‍රකානු පිලේ නායකයා මෙන්ම නැවතත් දකුණු අපි‍්‍රකාව 1992 දී නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුවට එක් වීමෙන් පසුව පිහිටුවන ලද දකුණු අපි‍්‍රකානු එක්සත් කි‍්‍රකට් මණ්ඩලයේ ප‍්‍රථම සභාපතිවරයා) ලංකාවට ආවා. එයා ආවේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ඡන්ද විමසීමට පෙර අපේ සහයෝගය ඉල්ලන්න.
කොහොම වුණත් ඒ වෙනකොට ජනාධිපති පේ‍්‍රමදාස මහතා ටිරෝන් ප‍්‍රනාන්දු මහතාට කියල ඉවරයි දකුණු අපි‍්‍රකාවට සහයෝගය දෙන්න කියලා. අන්තිමේ අන්තර්ජාතික කි‍්‍රකට් සමුළුවේ වාර්ෂික සැසිවාරයට ගියේ මමයි ටිරෝන් ප‍්‍රනාන්දු මහතායි දෙන්න. අපි දකුණු අපි‍්‍රකාවට සහයෝගය පළකළා.
ඇත්තම කියනවා නම්, නෙල්සන් මැන්ඬේලා මහතා ජනාධිපති පේ‍්‍රමදාස මහතාට ටෙලිෆෝන් නොකළා නම් අපි දකුණු අපි‍්‍රකාවට සහයෝගය නොදෙන්න තිබුණා.