(විනීතා එම් ගමගේ)
කොවිඞ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මේ වනවිට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩ වැටුප් ලැබීම හෝ වැටුප් අඩු කිරීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනෙකුට අතිකාල සේවා අහිමි වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරි මංගල රන්දෙනිය මහතා පැවසීය.
මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකට කොවිඩ් 19 රෝගය පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමිවී යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
එකී රැකියා අවස්ථා යලි ලබා ගැනීම පිළිබඳව කාර්යංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව පැවසූ රන්දෙනිය මහතා රැකියා අහිමිවී හෝ වැටුප් අහිමිව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සළසාලීමට පියවර ගන්නා බවත් පැවසීය.
එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් වේ නම් අදාල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටි රන්දෙනිය මහතා එහි නිලධාරින් අවශ්‍ය පියවර ගනු ඇතැයි ද කීය.
මේ අතර විදේශ රැකියාවන්හි යෙදී සිට නිවාඩුවට මව්රට පැමිණි අය ආපසු තම සේවා ස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳ කාර්යංශයට වාර්තා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කාර්යංශය විසින් කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

