මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ


ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ සේවයේ නියුතු නිලධාරීන් 60-80 අතර පිරිසක් සහභාගී කරවන බව එම අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පැවසීය.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට එම නිලධාරීන් සිය සේවා කටයුතු සිදු කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ අස්සන සහිතව ලබාදෙන ප්‍රතිඵල පරිගණකය හරහා ක්ෂණිකව නිකුත් කරනුයේද මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වී තිබෙන මාධ්‍ය ආයතනවලට පමණක් බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයාට පරිගණක හරහා අවශ්‍ය කරන සියලුම දත්ත ලබාදෙමින් මැතිවරණයේ පරිගණක සේවාව සම්බන්ධව ක්‍රියාකරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.