
(විනීතා එම් ගමගේ)
මැතිවරණයේ දී පොදු දේපල අවභාවිතා කරන්නන් පිළිබඳව තොරතුරු දැනගැනීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය apesalli.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.
එම වෙබ් අඩවියට පිවිස තමන්ට ඇති පැමිණිල්ල එහි සඳහන් කර එවීමට ඕනෑම අයෙකුට හැකි බවත් එහි දී තම අනන්‍යතාව හෙළි නොකර පැමිණීල්ල කළ හැකි බවත් ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය කියයි.
පොදු දේපල අවභාවිතයට එරෙහිව කටයුතු කිරීමේ දී ජනතාවගේ මැදිහත්වීම ලබා ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කළ බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා එම ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.
සිංහල හා දෙමළ යන භාෂාවලින් ඉදිරිපත් කර ඇති එම වෙබ් අඩවියට පිවිස පැමිණිලි ඉදිරිපත් කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි අන්දමින් සකස් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඉතිහාසයේ පළමුවරට පොදු දේපළ අවභාවිතා කිරීම පිළිබඳ තහවුරු කරගත් තොරතුරු සිතියම් ගත කර ඉදිරිපත් කෙරෙන බවත් ජනතාවට පැමිණිලි ලබාදීමට ඇති අවකාශයක් පමණක් නොව රටපුරා පොදු දේපළ අවභාවිත වීමේ ප්‍රමාණය අවබෝධ කර ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දීමක් ද වන බව ඔබේසේකර මහතා කීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම වෙබ් අඩවිය මැතිවරණයෙන් පසුව ද පවත්වාගෙන යන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට පොදු දේපල අවභාවිත කිරීම් පිළිබඳ සිද්ධීන් 103 තමන් වෙත ලැබී ඇතැයි හෙතෙම කියා සිටියේය. මේ වනවිට එයින් 83 ක් තහවුරු කරගෙන ඇතැයි ද ඒවා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ බව ද ඔහු කියාසිටියේය.
එම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් අයත්වන්නේ මැතිවරණ ප්‍රචාරණ අරමුණෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් යොදවාගැනීමත් රාජ්‍ය නිලධාරින් විසින් මැතිවරණ නීතින් උල්ලංඝනය කිරීමත් යන කරුණුවලට අදාලව බව ද ඔහු පැවැසීය.
තම සංවිධානය ගොනු කරන ලද පැමිණීලි පාදක කර ගනිමින් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ප්‍රශංසාව පළ කරන බවත්, වැරදිකරුවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව නැවත නැවත අවධාරණය කර සිටින බවත් ඔබේසේකර මහතා තවදුරටත් කියා සිටියේය.

