(බිඟුන් මේනක ගමගේ)
සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඊට සිය බලවත් විරෝධය පළකරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැළකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බැවින් මෙසේ නව නීති ගෙන ආ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසමට එවැනි නීතිමය බලතල නොමැති බව සිය සංවිධානය පැහැදිලිව පෙන්වාදුන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නැතැයි ද පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි යැයි ද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

