මැතිවරණ අර්බුදය ඔඩු දුවන්න පෙර විසඳා ගන්න


(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු සහගත තත්ත්ව අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර  සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) මැතිවරණ  කොමිසමෙන් ඉල්ලා සිටීයි.

මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක් බව බොහෝ දෙනකු අමතක කරන කරුණක් යැයි කියන මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය එවැනි තත්ත්වයක් තුළ මහජනතාවගේ අවම එදිනෙදා ජීවන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රජයේ මුදල් මුලුමනින්ම වැය කිරීමට සිදුව ඇතැයි යන්න අමතක කළ යුතුව නැතැයි පවසයි.

එබැවින් නිශ්චිත කාල සටහනක් අනුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්ව අතර එකඟතාවන් තුළින් ඇති කර ගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා උචිත සැලසුමක් සකස් කර ගැනීමට වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටීයි.