මැණික් වලින් වතුර පෙරණ ෆිල්ටරයක්


(විනීතා එම් ගමගේ)

ජලයේ බැර ලෝහ ඉවත් කිරීම සඳහා මැනික් ගල් යොදා ගනිමින්  ජල පෙරණයක්  නිපදවීමට ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙක් සමත්ව ඇත. 

මෙම ජල පෙරණය වෙනුවෙන් පේටන්ට් බලපත‍්‍රය ද මේ වනවිට ලබාගෙන ඇති අතර එය වාණිජ මට්ටමින් නිපදවීම සඳහා ජපානයේ සමාගමක් හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය අද  (31) ගිවිසුමකට එළැඹෙනු ලැබීය.

නව යන්ත‍්‍රය වාණිජ මට්ටමින් නිපදවීමෙන් පසු අලෙවි වන සෑම ජල පෙරණයක්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවට යම් ආදායමක්  ලැබෙනු ඇතැයි මේ සම්බන්ධව පරිසර හා මහවැලි අමාත්‍යංශයේ අද (31) පැවැති ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය.

මීට අමතරව සපත්තුවට මැණික් ගල් ඔබ්බවා පැළදිමෙන් ශරීරයේ සමහර ලෙඩ සුව කළ හැකි ක‍්‍රමයක් ද අපේ මැණික් විද්‍යාඥයකු විසින් සොයා ගෙන ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එයද වාණිජ මට්ටමට ගෙන ඒමට කටයුතු කරමින් සිටින  බව ද කීය. 

මැණික් හා ස්වර්ණාභරණ පුහුණු හා පර්යේෂණ කෙෂත‍්‍රය ඉතා වටිනා පර්යේෂණ කරමින් සිටින බවත් ඒ සඳහා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් හෙතෙම කියා සිටියේය.