මාලනීගේ නංගිලා


ඔවුනට මවකට එහාගිය සෙනෙහසක්, ආදරයත්  පමණක් නොව ගෞරවයක්ද ගෙන දුන් සදාදරණීය අක්කා මාලනී සෙනෙහලතා ෆොන්සේකාය ඒ මාලනිය ගැන අප බොහෝ දේ ලියා ඇත. ඉදිරියටත් ලියැවෙනු ඇත. කියවනු ඇත. නමුත් අද අපේ සූදානම ඇය ගැන කතා කිරීමට නොවේ. මාලනියගේ නංගිලා ගැන සඳහනක් කිරීමටය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ආචාර්ය මාලනි ෆොන්සේකාගේ නංගිලා අද දවසේ කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියා අපි විපරම කර බලමු. මාලනියට නැගණියන් සතර දෙනෙකි. කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී. සහ දමයන්ති ඒ සතර දෙනාය.

කල්‍යාණි

මාලනියගේ ලොකු නැගණිය වන කල්‍යාණි රඟපෑමේ කටයුතු වලට දායක නොවුවත්, නර්තනය ප‍්‍රගුණකර ඇත. නාරිලතා චිත‍්‍රපටයේ එක් දර්ශනයකට පමණක් පෙනී සිටි ඇයගේ සැමියා සිරිපාල වෙත්තමුණි ජීවතුන් අතර නැත. කල්‍යාණිට පුතුන් දෙදෙනෙකු සිටින අතර ලොකු පුතා උදය සුරංජන ගුවන් හමුදා නිලධාරියෙකි. අනෙක් පුතා දැන්වීම් ප‍්‍රචාරක අංශයේ නිරතව සිටියි.  

ශ්‍රීයානි

මාලනියගේ මේ නැගණිය පවුලේ අටවැනියාය. තිලකා හා තිලකා වසන්තයේ දවසක්, චිං - චිං නෝනා, සමන්මලී, ඇතුළු චිත‍්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය එකල වඩා ප‍්‍රකටව ඇතේතේ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසය.වේදිකා  නාට්‍ය හැට - හැත්තෑවකට පමණ ඇය රංගනයෙන් දායක වීඇත. සැමියා ජයන්ත මෙන්ඩිස් ව්‍යාපාරිකයෙකි. ශ්‍රීයානිට පුතෙකු සහ දියණියන් දෙදෙනෙක් සිටිති. පුතා අමිත්ත ජයාංග මෙන්ඩිස්ය. ලොකු දුව තරාණා හංසනී විවාහක නමුත් තව දුරටත් උසස් අධ්‍යාපනයේ නිරතව සිටින්නීය. දෙවැනි දුව උදාර කල්පනී ගුරුවරියකි. ඇයද උපාධිය හදාරමින් සිටින්නීය. ශ්‍රීයානි ඇතුළු මේ පවුල වෙසෙන්නේ එංගලන්තයේය. 2004 දී පමණ සිය පවුලම එංගලන්තයට ගොස් ඇත්තේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු  සඳහා බවත්, පවුලක් ලෙස එකට සිටීමේ වුවමනාව නිසා බවත් ශ්‍රීයානි සඳහන් කරන්නීය.  

රසාදරී

රසාදරී ගැන සඳහන් කළ විගස මතකයට නැගෙන්නේ ”ඈතින් ඈතට” විත‍්‍රපටයේ කළ රංගනයයි. ”බෝධියේ විහාරයේ පිදු පියුම් වැනි වූ” විශාරද නීලා වික‍්‍රමසිංහයන් ගැයූ ගීතයට රඟපෑවේ ඇයයි. චිත‍්‍රපට කීපයකටම රංඟනයෙන් දායක වූ රසාදරී විවාහ වී සිටින්නේ, නළුවකු, නීතිඥවරයෙකු මෙන්ම මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරන කරුණාරත්න හඟවන්න  සමගය. වසර තිහකට පමණ පෙරදී ඇමරිකාවේ  පදිංචියට ගිය මේ දෙපෙළ මේ දක්වා පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. රසාදරී පෙර පාසල් ගුරුවරියක මෙන්ම ආගමික අංශයට නැඹුරුව කටයුතුවල යෙදෙන අතර, සැමියා ලාස්වේගාස්හි නෙවාඩා සරසවියේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. මේ දෙපලට දරුවන් තිදෙනෙකි. ලොකු දුව එරට නීතිඥවරියක ලෙස කටයුතු කරන අතර ලොකුපුතා ගුරුවරයකු ලෙස කටයුතු කරයි. 2011 දී පමණ මේ අය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත. ඒ උගත් පාඩම් කොමිසමේ සාමාජිකයකු ලෙස මහාචාර්ය කරුණාරත්න හඟවන්න කටයුතු කළ නිසාය. රසාදරී තව දුරටත් එරට සිය අධ්‍යාපන කටයුතු වල යෙදෙනඅතර එහි ප‍්‍රධාන පරමාර්ථය වන්නේ උපාධිය ලබා ගැනීමය.  

දමයන්ති

මාලනියගේ බාල නැගණිය මෙන්ම ඒ පවුලේ බඩ පිස්සිය වන්නේ දමයන්තිය. සිනමාවේදී ප‍්‍රසන්න විතානගේ සමග විවාහ වී සිටින දමයන්ති තවමත් රංගනයේ යෙදෙමින් සිටින ප‍්‍රවීන රංගශිල්පිනියක සහ චිත‍්‍රපට නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්‍ෂවරියකද වෙයි. මේ දිනවල දමයන්ති අපට හමුවන්නේ, ”තූර්යා” ටෙලි මාලාව සමගය. ඊට අමතරව හීනවලට පාට දෙන්න, පබළු මැණිකේ යන නාට්‍යය සමග ඇය අපේ ආලින්දයට එයි. උපාලි ගම්ලත්ගේ ”හිමබිම” ඇය රඟපෑ අලූත්ම චිත‍්‍රපටයයි. මාලිනිය, කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී සහ දමයන්ති කුඩා කාලයේ මෙන්ම නව යෞවනයේදී ජීවිතය ගත කළ විදිය මොන වගේද කියා ඊළඟට බලමු. මේ ගැන මතකය මුලින්ම දැක්වූයේ රසාදරී ෆොන්සේකාය. ඇමරිකාවේ සිට ඇය අප සමග මේ අදහස් හුවමාරු ගත්තේ දුරකථනය ඔස්සේය.   රසාදරී අතීතයේදී මාලිනි අක්කා සහ ගෙදර අනෙකුත් සහෝදර සහේදරියන් සමග ගෙවූ ජීවිතයේ සැමරුම් ආවර්ජනය කළොත්? මාලනී අක්කා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්. කුඩා කාලයේදී අම්මා ගෙදර නැති වෙලාවේ අපිව බලා ගන්නේ මාලිනී අක්කා. අම්මාටත් වැඩිය හොඳට එයා අපිව බලාගත්තා කිව්වොත් හරි. ඒ තරමටම අපට ආරක්ෂාව දුන්නා. ඉස්සර අපේ ගෙදරට විදුලිය තිබුණෙ නැහැ. පවුලේ දෙමාපියන් සහ ආච්චි ඇතුළු අපි ඔක්කෝමලා 14 දෙනෙක් හිටියා. මම, චූටි නංගී දමයන්ති සහ ආච්චි ලිඳ ළඳ සංගමයේ සාමාජිකයින්. ඒත් මාලනී අක්කා තමයි ගෙදරට වෙලා සියලූ වැඩ කටයුතු කළේ කුප්පි ලාම්පු එලියෙන් තමයි එයා ඉව්වේ. උයලා - පිහලා ඉවරවෙලා අපි ඔක්කෝම කෑවට පස්සෙ තමයි එයා කෑවේ. පුදුම හොඳ ගතිගුණ එයාට තියෙන්නෙ. මොන දේ වුණත් ඒ අතීතය හරිම සුන්දරයි. ඉස්සර මට මතකයි අපේ අයියලා ටිකයි, මාලිනි අක්කයි එකතුවෙලා ගමේ නාට්‍ය වගේ දේවල් සංවිධානය කළා. වෙසක් එකට අපි  ඕලූ නාට්‍යය කළා. ඒ විතරක් නෙවෙයි. මෙයාලා එකතුවෙලා චිත‍්‍රපට පෙන්වනවා කියලා. වීදුරු කෑල්ලක් අරගෙන කළුවර තැනකට ගිහින්, තාප්පයකට ටෝච් එකෙන් අර වීදුරු කෑල්ලට ආලෝකය පතිත කළා. මේ වැඬේට එය බලන්න ආපු යාළුවන්ගෙන් සත පහක් අය කළා. එදා මොනවාහරි දෙයකදී මුලින්ම අයියලා එක්ක රණ්ඩුව පටන් ගත්තේ මාලනී අක්කා තමයි. මොකද එයා අකමැති දේ වෙනවට එයා කැමැති නැහැ. දවසක් මෙහෙම රණ්ඩු වෙලා ගෙදර මොනවාහරි දෙයක් කැඩුණා. අම්මා ගෙදර එනකොට මෙයාලා මොනවත් නොදන්න ගාණට හිටියා. කොහොමහරි අම්මා මෙය දැනගෙන මෙයාලාට දඬුවම් කළා. මේ සිදුවීම මට අද වගේ මතකයි. කොහොම වුණත් අපේ පවුල හරි එකමුතුයි. සමාජයට හරි ලෙංගතුයි. අපි එකතු වුණාම එකිනෙකාගේ දේ කතා කරමින් සිනහාව බෙදා ගත්තා.. ඒක හරිම සුන්දර කාලයක්. ඒ සුන්දර කාලය ආයේ එන එකක් නැහැ.   ඊළඟට එදා මතකයන් ගැන අපට විස්තර කළේ දමයන්ති ෆොන්සේකාය. පවුලේ බාලයා මම නිසා එදා මම කාගෙත් හුරතලා වුණා. මාලනී අක්කා තමයි මාව ලස්සනට අන්දවාගෙන , පෝනිටේල් එක දාලා, තිලක තියලා, පෙර පාසල් එක්කගෙන ගියේ. එයා මාව වඩාගෙන ගිය හැටි මට තාමත් මතකයි. අපේ අම්මා ගෙදර ඔක්කෝටම එක - එක වැඩ පවරලා තිබුණා. කාටවත් නිකං ඉන්න බැහැ. හැමෝම තමුන්ට පැවරිලා තබුණු දේ කළ යුතුම වුණා. කල්‍යාණි අක්කා තමයි අපට පිළිවෙල කියා දුන්නෙ. පාඩම් සියල්ල කියලා දුන්නෙත් එයා. අපි නියමිත වෙලාවට නැගිටින්න  ඕනෑ. නැත්නම් එයා කෑගහනවා. මාව නාවන එක, ඇඳුම් අන්දවන එක එහෙම කළේ මාලනී අක්කා. මට පැවරිලා තිබුණෙ ගෙදර බඩුමුට්ටු පිහදාන එකයි.   කට්ටිය රණ්ඩු වෙලා එහෙම නැද්ද? මම, රසාදරී සහ පොඩි අයියා එහෙම සම වයසේ නිසා රණ්ඩු වුනේ ඉතිං අපි තුන්දෙනා තමයි.   මාලනී, කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී සහ ඔබගේ යොවුන් වියේදී වඩාත් ලස්සන කවුරු කියලද ඔබට හිතෙන්නෙ? මාලනී අක්කා ගැන ආයේ අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැනේ. එයා හරිම සුන්දරයි. රසාදරී අක්කගෙ තිබුණෙ වෙනම ලස්සනක්. අනෙක් හැමෝම වගේ හරි ප‍්‍රසන්න වුණා. මේ සුන්දර අක්කලා - සහ නංගිලා ගැන තවත් ලියන්නට ඇති දේ බොහෝය. එහෙත් අදට අපි  ඔවුනගේ ඒ සුන්දර බැඳීමෙන් මොහොතකට වෙන් වී යමු.
සඳුන් ගමගේ