මාලදිවයිනේ දූපත් අතර ගමනාගමන කටයුතු සීමාකරයි


කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ දූපත් කිහිපයක ගමනාගමන කටයුතු සීමා කිරීමට මාලදිවයිනේ බලධාරීහු අද (8) පියවර ගත්හ.

කොරෝනා ආසාදිතයන් දෙදෙනා හමු වී ඇත්තේ මාලදිවයිනට අයත් ‘කුරේදු’ සංචාරක දූපතෙන් වන අතර ඔවුන් දෙදෙනා එම දූපතේ සංචාරක කාර්යමණ්ඩලවලට අයත් බව පැවසේ. මාලදිවයිනට පැමිණි ඉතාලි සංචාරකයකුගෙන් ඔවුන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද මාලදිවයිනේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම දූපතේ සංචාරක සේවා සපයන කාර්යමණ්ඩලවල පිරිස් හා සංචාරකයන් ඇතුළු 1,400කට වැඩි පිරිසක් සිටින බව මාලදිවයිනේ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

‘‘කුරේදු සංචාරක දූපතෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවුණා. ඔවුන් සංචාරක සේවා සපයන කාර්යමණ්ඩලවලට අයත් දෙදෙනක්. මේ වනවිට ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබෙනවා’’ යැයි මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අලී වහීද් පැවැසීය.

මාලදිවයිනේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ සංචාරක කර්මාන්තය මතය.

‘‘කොරෝනා ආසාදනය වූ දෙදෙනා සමඟ සිටි අයත් ඔවුන් මුණ ගැසුණු ඔවුන් දෙදෙනා අසළ සිටි අයත් මේ වනවිට පරීක්ෂාවකට ලක් කෙරෙමින් තිබෙනවා. ඔවුන් සියලු දෙනාම දින 14ක් යන තෙක් නිරීක්ෂණය කරනවා’’ යැයි ද හෙතෙම කීය.

ඉතාලියේ සිටි පැමිණෙන හෝ අවසන් දින 14ක කාලයේදී ඉතාලියට ගමන් කළ කිසිවකුට මාලදිවයිනට පැමිණීම තහනම් කිරීමට මාලදිවයිනේ බලධාරිහු පියවර ගෙන ඇත.  

(රොයිටර්ස්)

055