මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි


(පස්වරු 8.30)

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා ඇත. මේ අතර ජල මට්ටම පහත බැස ඇති පෙදෙස් වල වසා දමා තිබූ ඇතැම් මාර්ග මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත.

• අඹතලේ පාර බර වාහන සඳහා වසා ඇත. 
• කැලණිමුල්ල කැලණිසිරි පාලම අසළ ජල මට්ටම හේතුවෙන් මාර්ගය වසා ඇත.
• කළුඅග්ගල ලබුගම 12KM - 7KM අතර මාර්ගය කැඩි ගොස් ඇත. 
• බුලත්සිංහල නාගොඩ 44KM සිට මාර්ගය වසා ඇත.
• හොරණ අලුත්ගම මාර්ගය වසා ඇත.
• නෑබඩ මතුගම 23 සිට මාර්ගය වාසා ඇත.
• පැලවත්ත මොරවක 15KM -16KM අතර මාර්ගය වසා ඇත.
• තිරුවාන කැටිය අඟලවත්ත මාර්ගය වසා ඇත.
• කලවාන රක්වාන මාර්ගය වසා ඇත.
• ඇහැළියගොඩ කිරිඇල්ල මාර්ගය වසා ඇත.
• ඉඩණ්ගොඩ අයගම මාර්ගය වසා ඇත.
• අයගම කුකුලේ ගඟ මාර්ගය වසා ඇත.
• අයගම ගවරඟිරිය මාර්ගය වසා ඇත.
• හිනිදුම, ඕපාත, පිටබැද්දර, තවලම, බද්දේගම, ගාල්ල මාර්ගය වසා ඇත.
• තවලම බටුවන්ගල නෙළුව මාර්ගයේ තවලම නෙළුව අතර මාර්ගය වසා ඇත.
• උඩුගම උනන්වැටිය නාගොඩ මාර්ග වසා ඇත.
• ගාල්ල බද්දේගම මාර්ගය වසා ඇත.
• මොරවක නෙළුව 33 අසල මාර්ගය වසා ඇත.
• නෙළුව පැලවත්ත මාර්ගයේ බද්දේගම මාර්ගය වසා ඇත.
• උඩුගම තවලම මාර්ගය වසා ඇත.
• වදුරබ ඇටිමලේ 4KM අසල මාර්ගය වසා ඇත.
• මාගොඩ ගෝනදෙණිය මාර්ගය වසා ඇත.
• උනන්පිටිය නයා පාමුල මාර්ගය වසා ඇත.
• යක්කලමුල්ල ඉමදුව 10-11 අසල මාර්ගය වසා ඇත.
• තල්ගස්වල වදුරබ මාර්ගයේ යටවත්ත ප්‍රදේශය වසා ඇත.
නැවත විවෘතකර ඇති මාර්ග
• ගාල්ල දෙණියාය මාදම්පේ මාර්යේ එක් මංරුවක් විවෘත කර ඇත.
• කොළඹ, රත්නපුර, වැල්ලවාය මාර්ගය විවෘත කර ඇත.
• ඇහැළියගොඩ දෙහිඕවිට මාර්ගය විවෘත කර ඇත.
• තංගල්ල වීරකැටිය මාර්ගය විවෘතකර ඇත.


(පස්වරු 8.10)

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

බද්දේගම නගරයේ ක්‍රිස්තුදේව විද්‍යාලය අසල වේල්ලෙන් තවමත් ජලය කාන්දු වෙමින් පවතී. මෙවරත් ජල කාන්දුව වැළැක්වීම සඳහා තාවකාලිකව වැලිකොට්ට අතුරා තිබේ. 
වතුර කාන්දුවීම නැවැත්වීමට ඊයේ (28) සිටම වැලි කොට්ට යෙදුවද අදත්  ස්ථාන දෙකකින් ජලය කාන්දු වෙමින් තිබිණි. බද්දේගම නගරයේ සිට එම ස්ථානයට යන පාර තාවකාලිකව වසා තිබිණි. වෙළෙඳ සැල් රැසක පිරිස් ඉවත්ව ගොස් සිටියද වෙළෙඳ සැල් දෙක තුනක් පමණක් විවෘත කර තිබිණි.
ක්‍රිස්තුදේව විද්‍යාලය අසල වේල්ලෙන් ජලය කාන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් වරින් වර පැලැස්තර විසඳුම් යෙදුව නිසා මෙවරද එලෙසම ජලය කාන්දු වූ බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.


(පස්වරු 8.00)

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින මෝරා සුළි කුණාටුව තව දුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බවත් හෙට දිනයේ දී එය බංග්ලාදේශ වෙරළ හරහා ගොඩබිමට ඇතුළුවීම සිදුවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහි බෑවුම්වල ඇතුළුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන සුළඟ පැයට කිලෝ මීටර් 80 දක්වා තද විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද (29) සවස නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ. 


(පස්වරු 7.10)

(තරිඳු ජයවර්ධන, බිඟුන් මේනක ගමගේ)

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට තද සුළං සමග වර්ෂාව යළි ඇද හැළෙන්නට පටන්ගෙන ඇත.


(පස්වරු 7.00)

ආපදා හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින් ගණන 180 දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


(පස්වරු 6.30)

(ඩයනා උදයංගනී)
ගං වතුර හා නායයෑම් සිදුවූ ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට මේ දිනවල සේවයට වාර්තා කිරීම අසීරු බැවින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.


(පස්වරු 6.20)

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

මාතර මාලිම්බඩ ප්‍රදේශයේ වතුර කෙමෙන් බැස යමින් පවතී.එම ප්‍රදේශයට අාහාර පාන ආදිය නැතැයි ද උපකාර අවශ්‍ය වී ඇතැයි ද ප්‍රදේශයේ තරුණයෙක් පැවසීය.
වියළි ආහාර ලැබනේනේනම් එවා පිස ගමේ අයට ලබා දිය හැකි බව ගමේ තරුණයෝ කියති. ජල බෝතල්ද අවශ්‍ය වී තිබේ.

ඡායාරූප - තරිඳු ජයවර්ධන


(පස්වරු 5.30)

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

ගංවතුර නිසා කඩා දැමීමට තිරණය කර පසුව අවලංගු කළ හල්පාතොට පැරණි පාලම බ්‍රිතාන්‍ය යුගයේ ඉදි කළ ඓතිහාසික වටිනාකමක් ඇති පාලමක් බව ප්‍රදේශවාසීහු කියති.  බද්දේගම නගරයට මීටර් 600ක් පමණ දුරින් මෙම පාලම පිහිටා තිබේ.

පාලම අවහිර වී ඇති හෙයින් ජලය කඩිනමින් පිට කිරීම සඳහා මෙම පාලම කඩා දැමිය යුතු බවට මතයක් ආ අතර එය දැඩි විවාදාසම්පන්න විය. ඇතැමෙක් ඊට පක්ෂ වෙද්දී තවත් වැඩි දෙනෙක් මෙම පාලම කඩා දමනවාට විරුද්ධ වූහ. කෙසේ වෙතත් පාලම කඩා දැමීමේ තීරණය ඉවත් කර ගැනිණි.

එම තීරණය දැන ගත් මොහොතේ සිට බොහෝ දෙනෙක් එය නැරඹීමට පැමිණියහ. මෙය අවදානම් කලාපයක් යැයි ගසා ඇති බෝඩ් ලෑලි දෙස බලමින් පාලම නැරඹීමට විශාල පිරිසක් අද(29) දිනයේත් ආහ. පාලමේ ගෑවි නොගෑවී ගලා බහින ජල ධාරාව දෙස බලමින් අත දරුවන් පවා පාලම මත හිඳුවා සිටිනු දක්නට ලැබිණි.


(පස්වරු 5.15)

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

කිරිබත්ගල කන්ද නායයාමෙන් පස්වලට යටවී සිටි ‘‘කුරහන’ ගමේ තවත් දෙදෙනකුගේ සිරුරු අද (29) සොයාගත් බව ශ‍්‍රී ලංකා යුද හමුදාව පවසයි. 10 දෙනකුගේ සිරුරු මීට පෙර සොයාගෙන තිබිණි.


(පස්වරු 5.00)

ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 177ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අතුරුදන්වී ඇති පිරිස 109ක් බවත් පවුල් 18,612ක් අවතැන්ව ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.


(පස්වරු 4.25)

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ආපදා තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අද(29) වන විට 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව පවුල් 43114ක 160 702 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර උභය සිරිවර්ධන මහතා පවසයි.


(පස්වරු 4.15)

(ඩයනා උදයංගනී, ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් තුළ දී උපත ලැබූ දරුවා මිය ගොස් ඇතැයි රත්නපුර මහ රෝහල් ආරංචි සඳහන් කරයි.

සති 26ක පමණ අඩු වයස් දරු උපතක් වීම එම මරණයට හේතුව බව වාර්තා වේ.


(පස්වරු 4.05)

(ඉන්දිකා රාමනායක)
ගංවතුරින් අවතැන් වූ ජනතාවට යුද හමුදාව විසින් දිනකට පිසූ ආහාර පාර්සල් 20000ක ප්‍රමාණයක් ලබා දෙන බව යුද හමුදාව කියයි.
පිසූ ආහාර පාර්සල් ගුවන් හමුදාව හරහා බෙදා හරින බව ද ඒ මහතා පවසයි.

(පස්වරු 4.00)

(තරිඳු ජයවර්ධන)
කරන්දෙණිය ආසනයට අයත් කුට්ටියාවත්ත ප්‍රදේශයේ කොටුවී සිටින පිරිසට තවම උදේ ආහාරවත් නැති බව ප්‍රදේශවාසීහු කියති.
කඩිනමින් සහන සලසන ලෙස ඔවුහු ඉල්ලති.


(පස්වරු 3.05)

මාතර පාලටුව මහා විද්‍යාලය අසළ සිටින 400ක පමණ පිරිසකට කෑම සහ ජලය අවශ්‍ය වී ඇත. ඔවුන්ට පෙර දින රාත්‍රියෙන් පසු කෑම හෝ ජලය ලැබී නැති බව කියති.

දුරකථන අංක 0759336285 


(පස්වරු 3.00)

බද්දේගම ජලමාපකය අද දහවල් 1.00 ට දිස්වූ අයුරු.  

ඡායාරූප - ගාල්ල අමල් වික්‍රමරත්න


(පස්වරු 2.55)

මාතර නාදුගල වේල්ල අසල 35ක් සිටිති.අසනීප ත්ත්වෙයන් පසුවන අයකුත් සිටින බව වාර්තා වෙයි.සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙහෙත් හා ආහාර බලාපොරොත්තු වෙයි.
වැඩි විස්තර රශ්මි සඳරු 076 52 96 033 

(පස්වරු 2.40)

මහ වැස්සෙන් විපතට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරනු ලබන සහන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රත්නපුරයට ගොස් සිටියි.

(ඡායාරූපය - අජිත් ලාල් ශාන්තඋදය)


(පස්වරු 2.30)

(ඩයනා උදයංගනී)

ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති කලවාන රෝහලේ සිට ගුවනින් රත්නපුර රෝහල දක්වා රැගෙන යමින් සිටි ගැබිණි කාන්තාවක් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය තුළ දී සිය දරුවා ප්‍රසූත කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

 


(පස්වරු 2.25)

(ඩයනා උදයංගනී, රංජන් කස්තුරි)

ගංවතුරින් විපතට පත්වූ පවුල්වල දරුවන්ට පාසල් නිල ඇඳුම් තුනක් සහ සපත්තු කුට්ටමක් බැගින් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් මෙම දරුවන්ට පොත් ලබාදීම සඳහා තම මසක වැටුප ලබාදීමට තීරණය කර ඇති බවද ඒ මහතා පවසයි.


(පස්වරු 2.20)

(හර්ෂණ තුෂාර සිල්වා)

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැයි 24ක් දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  
අද (29) පස්වරු 1.00 සිට ඉදිරි පැය 24ක  කාලයක් මෙම නිවේදනය වලංගු වේ. 

අද පස්වරු 2.00 වන විට ශ්‍රී ලංකාවට දෙපසින් ඉහළ අහසේ තිබූ තත්ත්වය චන්ද්‍රිකා කැමරාවට හසුවූ අයුරු
ඡායාරූපය - නාසා ආයතනයේ අනුග්‍රහයෙනි


(පස්වරු 2.05)

ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 169ක් දක්වා වර්ධනය වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට පුද්ගලයින් 102 ක් අතුරුදන්ව සිටිති.

 


(පස්වරු 1.47)

(තරිඳු ජයවර්ධන, බිඟුන් මේනක ගමගේ)

ආපදා නිසා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පුද්ගලයෝ 160702ක්  තවමත් අවතැන් වී සිටිති. මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන ගණන 26කි.

ත්‍රිවිද හමුදාව සහ පොලිසිය තවමත් මුදාගැනීම් මෙහෙයුම්වල නිරතව සිටිති. මේ වන විට මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 24ක් වාර්තා වී ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 15කි.   


(පස්වරු 1.15)

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සිකුරාදා (ජූනි 2) තෙක් වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


(පස්වරු 1.10)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුලත්සිංහල, ගල්ලප්පහළ ගල්ලත කන්ද නායයාමෙන් යටවූ නිවසක සිටි තිදෙනකුගේ මළ සිරුරු අද(29) සොයාගත් බව ප්‍රදේශවාසීහු කියති.

 


(පස්වරු 1.00)

(සිරංගිකා ලොකුකරවිට)

නිල්වලා ගඟේ ගංවතුර පැතිරයාම වැළැක්වීම සඳහා යටියන ප්‍රදේශයේ ඉදිකර ඇති බී.ඒ.9 වේල්ලේ කොටසක් පෙරේදා කැඩී ගොස් ඇතැයි මාතර හා ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පවසයි. ගංවතුර තත්ත්වය අඩුවෙමින් පවතින බැවින් එම වේල්ල සම්බන්ධයෙන් අවදානමක් නැතැයි ද ඇය කියා සිටියාය.


(දහවල් 12.30)

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ තරුණයෝ අද සවස විපතට පත් ජනාතවට ආධාර පිරිනැමීම සදහා පැමිණ සිටියහ. 
ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා යෝෂිත රාජපක්ෂ මහතාත්, රෝහිත රාජපක්ෂ මහතාත් පැමිණ සිටියහ. දින කිහිපයක් තිස්සේ ගංවතුරෙන් කොටු වී සිටි ප්‍රදේශවාසීන්ට මෙහිදී යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මහතා අතින් ආධාර පිරිනැමිණි. මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක ස්ථවිරයෝද එක්ව සිටියහ.


(දහවල් 12.00)

(හබරාදුව නිමල් අල්ගෙවත්ත සහ ගාල්ල අමල් වික්‍රමරත්න)

මේ වන විට බද්දේගම , නාගොඩ ප්‍රදේශයේ ජල මට්ටම  පහළ යමින් ඇත. සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගිං ගගේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇත. අද (29 වන දින) දහවල් 12 වන විට ගාල්ලේ පවුල් 38155 ක සමාජිකයෝ 151360 අවතැන් වී සිටියහ. 
ආපදාවට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස -  19
ග්‍රාම සේවා වසම්    -     396
පවුල්     -     38155
සමාජිකයෝ   -    151360
පුර්ණ වශයෙන් හානි නිවාස   -    161
අර්ධ හානි නිවාස   -    467
අතුරුදන් වූවන් - 10
මරණ සංඛ්‍යාව  - 12
සහන සේවා කඳවුරු - 13
(උපුටා ගැනීම - ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය)

(ඡායාරූපය - සිරිනිහාල් ගමගේ)


(පෙරවරු 11.40)

නාවික හමුදාව මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටී. 

මාතර  දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ සියඹලාගොඩ රොටුඹ, පස්ගොඩ  යා කරන පිටබැද්දර පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇත. එම  හේතුව නිසා ඊයේ (28) රාත්‍රී වන විට නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අකුරැස්ස අවට ප්‍රදේශයට‍ තව දුරටත් ජල ගැලීමේ අවදානමක් පැවතිණි.

(ඡායාරූපය - ෂෙහාන් ගුණසේකර)


(පෙරවරු 11.37)


පානදුර සිට පැමිණෙන විට, කිරිඇල්ල, මඩලෑල්ල කිලෝමීටර 39 සහ 40 අතර ප්‍රදේශයට ආහාර අවශ්‍ය බව වාර්තා වේ. ඇල්ලගාව පන්සලේ ආහාර පිළියෙළ කරමින් පවතින බවත් එම ස්ථානයට ආහාර පිසීම සඳහා උපකාර අවශ්‍ය බවත් පැවසේ. 

ලක්ෂාන්  0773985705



​(පෙරවරු 11.35)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳුගල ගම්මානයට කෑම බීම අවශ්‍ය බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


​(පෙරවරු 11.13)

කළුතර වැලිතුඩුවත්තේ (පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලය පිටුපස) පිරිසකට බෝට්ටුවක් අවශ්‍ය බව වාර්තා වේ. ආහාර හෝ කිසිවකුත් මොවුන්ට ලැබී නැති බව වාර්තා වේ.


දසුන් 0775988639, රමේෂ් 0714448805,  අජන්ත 0775218663 


​(පෙරවරු 11.12)

කිරිඇල්ල, ඇල්ල ප්‍රදේශයේ ගමකට ආපදා කණ්ඩායම් හෝ සහන කණ්ඩායම් හෝ කිසිවකුත් නොපැමිණි බව වාර්තා වේ.

ලක්ෂාන් 0773985705


​(පෙරවරු 11.02)

මාතර කුඩැල්ල,සුල්තාන්ගොඩ,මාලම්බඩ උනැල්ල,පාලටුව ප්‍රදේශවලට දිවා ආහාර පානීය ජලය හා ඉටිපන්දම් අවශ්‍ය බව වාර්තා වේ.


තුමුල-077 2222 829
දිනුක-0777 362 878


​(පෙරවරු 10.49)

තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ අත්තුඩාව බටහිර නැගෙනහිර ග්‍රාම සේවක වසම්වල ජනතාවට අවශ්‍ය  වියළි සළාක, ඉටිපන්දම්, වතුර,ගිනිපෙට්ටි,භූමිතෙල් ආදි ද්‍රව්‍ය අවශ්‍යව ඇත.

මෙම ප්‍රදේශයේ පදිංචි පවුල්  500 කි. පුර්ණ නිවාස හානි 200 කි. අර්ධ නිවාස හානි 25 කි. අත්තුඩාව විදුහල සහන  කඳවුර  වේ.

පුජ්‍ය සංඛපාලේ  පංඤාතිස්ස හිමි අත්තුඩාව මාතර - 0714237167

ශ්‍යාමික - 0715865864


​(පෙරවරු 10.49)

ඇහැලියගොඩ තලවිට පාසලේ කඳවුරට වියලි ආහාර.මදුරු දැල්,ඇඳුම්,කාන්තා සනීපාරක්ෂක තුවා අවශ්‍ය බව වාර්තා වෙයි.071 456 4659 අංකයෙන් විස්තර ගත හැකිය.


​(පෙරවරු 10.28)

මාතර  තිහගොඩ අරලිය මාවතේ ගංවතුරට කොටු සිටින පවුලක ආබාධිත රෝගී දරුවෙකුගේ බෙහෙත් අවසන් වී  ඇති බැවින් එම බෙහෙත් ගෙන්වා ගැනීමට පිහිට වන ලෙස දරුවාගේ මව ඉල්ලා සිටියි.

දරුවාගේ පියා විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකි. මව ද හෘද රෝගී තත්වයෙන් පෙළෙන බව පවසයි.
මාතර ප්‍රදේශයේ සහන සේවා කටයුතු වල යෙදෙන නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


(දුරකථන අංක - 0713813081)


​(පෙරවරු 10.28)

කලවාන බොහෝ දෙනෙකුට තවමත් ආහාර නොලැබුණ බව  වාර්තා වෙයි. හැකි ඉක්මණින් එම ප්‍රදේශයට ආහාර පාන ඉල්ලයි.

(පෙරවරු 10.20)

ගංවතුරෙන්  විපතට පත් වූ ජනතාවට  සහන සැලසීම පිළිබඳව  විශේෂ  සාකච්ඡාවක් කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (29) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි.

මේ අතර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් අද පස්වරු 12.30ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.


​(පෙරවරු 10.00)

(සිරංගිකා ලොකුකරවිට)

සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑමේදී නිවෙසක වහලකට හානි සිදුවී තිබේ. හෙලිකොප්ටරයේ 11 දෙනකු ගමන් කර ඇතත් සුළු තුවාල සිදුවී ඇත්තේ අයකුට පමණි. එය ගොඩබාන ලද ස්ථානය තවමත් ජලයෙන් වටවී තිබෙන හෙයින් හෙලිකොප්ටරය ඇති ස්ථානයට ළඟාවීම අසීරු වී තිබේ.

මෙම යානය ගංවතුර ආධාර බෙදීමට යොදවා තිබූ යානයකි.

(වීඩියෝ - සිරංගිකා ලොකුකරවට)


(පෙරවරු 9.43)

(රංජිත් රාජපක්‍ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අද (29) අලූයම සිට තද සුළං තත්ත්වයක් පවතියි.

අධික සුළං තත්ත්වයත් සමඟ වරින් වර විදුලිය ද විසන්ධි වන අතර සුළං තත්ත්වයත් සමඟ සුළු වැස්සක් සහ ඝණ මිදුමි තත්ත්වයත් පවතී.


(පෙරවරු 9.08)

(තරිඳු ජයවර්ධන,බිඟුන් මේනක ගමගේ)

ආපදාවට පත්වූ හෙලිකොප්ටරයේ නියමු බලඝන නායක භානුක දෙල්ගොඩට ජනපති කතා කරයි.ඔහුගේ වීරත්වය අගය කරයි.


(පෙරවරු 9.08)

(හර්ෂණ තුෂාර සිල්වා)

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින  හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය. 


(පෙරවරු 9.08)

(තරිඳු ජයවර්ධන)

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බවත්, එහි බලපෑම හේතුවෙන් වැසි හා සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


(පෙරවරු 8.20)

(තරිදු ජයවර්ධන)

ගංවතුර සහ නායයෑම් නිසා සිදුවූ ආපදාවලින් මිය ගිය ගණන 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පුද්ගලයන් 104 දෙනකු තවමත් අතුරුදන්ව සිටින අතර 88 දෙනෙක් තුවාල ලබා සිටිති.

නිවාස 412කට පූර්ණ හානි ද නිවාස 4266කට අර්ධ හානිද සිදුවී ඇතැයි ද, පවුල් 128586ක පුද්ගලයන් 471542ක් අවතැන් වී ඇතැයි ද අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයෝ 75236 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 336ක සිටිති.

වැඩිම පිරිසක් බලපෑමට ලක්වී සිටින්නේ මාතර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 131775කි.

(ඡායාරූපය - ෂෙහාන් ගුණසේකර)


(පෙරවරු 8.20)

(ඉන්දිකා රාමනායක,ඩී.ජි.සුගතපාල,අමල් වික්‍රමරත්න, බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (29) උදෑසන කඩා වැටී ඇත.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙම යානය කඩා වැටී ඇති නමුත් කිසිවකුටත් තුවාල වී නැති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)