(නිමන්ති රණසිංහ)
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට
අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු මෙම කැඳවීම එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් ඉකුත් 12 වැනිදා බාරදී තිබේ.
මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කතානායක කරු ජයසූරිය මහතා විසින් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබිණි.
මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නැයි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ්‍රාමික) මේජර් ජනරාල් අමල් කරුණාසේකර සහ යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත යන දෙදෙනා ඇතුළු බුද්ධි නිලධාරීහු හයදෙනෙක් මේ වන විට ඇප මත මුදා හැරනු ලැබ සිටිති.
2008 මැයි මස 22 වැනිදා රාත්‍රි 11.39 ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි.