මාතලේට අසූචි මිශ්‍ර ජලය දී බිල්පතෙනුත් ගසා කති


(මහේෂ් කිර්තිරත්න)

මාතලේ දිස්ත්‍රික්කයෙහි දුෂ්කර ප්‍රදේශවල  පවතින පානීය ජල ගැටලු විසදිම සදහා ක්‍රියාත්මක ඇතැම් ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ නිකුත් කෙරෙන ජලය පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නොවන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි කරුණු අනාවරණය විය.
 

 මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා සේපාලි වික්‍රමතිලක මහත්මිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි කියා සිටියේ මෙම ජල ව්‍යාපෘතිවලින් 78% ක පමණ ජලයෙහි අසුචි අංශුවල මිශ්‍ර ඊකොලායි නැමැති බැක්ටිරියාව ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද ඇය කමිටුව වෙත දැන්වුවාය.

මාතලේ දිස්ත්‍රික්කය තුළ ප්‍රජා ජල ව්‍යාපෘති 236 ක් ක්‍රියාත්මක බවත් එම ව්‍යාපෘති කිසිවක් ක්‍රමානූකලව ක්‍රියාත්මක වන වන බවක් දක්නට නොලැබෙන බවත් ජල සාම්පල 147 ක් රසායනාගාර පරික්ෂණ වාර්තා අනුව බිමිට නුසුදුසු තත්වයේ පවතින බවද  මෙහිදි අනාවරණය විය.

ඇතැම් ප්‍රජා ජල ව්‍යාපෘති සිදු කරන සමිති ප්‍රධානින්ගේ පවුලේ ආදායම් මාර්ගයක් බවටද මෙය පත් කර ගෙන ඇති බවත් ආදාළ ආදයම් වියදම් පිළිබදව විධිමත් විගණයක්ද සිදු නොවන බවත් වසර ගණනාවකට පෙර ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භයේදිම පත් කර ගත් නිලධාරින් වරින් වර එම තනතුරුවල දිර්ඝකාලිනව රැදි සිටිම නිසාද විවිධ මුදල් අක්‍රමිකතා සිදු වන බවද ජල පාරිභෝගකයෝ පවසයි.

 අදාළ පළාත්පාලන ආයතනයන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රජා ජල ව්‍යාපෘති පවත්වාගන යායුතු නමුත් මේ වනවිට එම ආයතන සියල්ල මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බැවින් එම ප්‍රජා ජලමූල සංවිධාන නිලධාරින්ගේ අභිමතය පරිදි මේ ව්‍යාපෘතීන්හි කළමනාකරණ කටයුතු සිදුවිමෙන් මෙවැනි තත්ත්වයක් උදාවි ඇතිබව ජල පාරිභෝගිකයෝ පවසති.
 
ඇතැම් ජල සමිති මගින් විවිධ ආකාරයෙන් ජනතාවගෙන් ජල මණු සවිකර මුදල් ලබා ගෙන ඒවා වෙනත් දේ සදහා යොදවන බවත් ඇතැම් සමිතිවල විශාල වශයෙන් මුදල් අක්‍රමිකතාද සිදු වන බව ද ජල පාරිභෝගකයෝ පවසයි.
  
මේ පිළිබදව මධ්‍යම පළාත් ප්‍රජා ජල දෙපාර්තමෙන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසිමේදි කියා සිටියේ මෙවැනි පැමිණිලි ලැබෙන බවත් අදාළ සමිති නිලධාරින් දැනුවත් කිරිම් අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණයෙන් සිදු කරන බවත් පළාත් සභා ප්‍රතිපාදන යටතේ ප්‍රජා ජල භාරය හරහා ජල පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය.ජල මෝටර් සහ උපදේශන සේවයන් ගිණුම් පිළියෙල කිරිම් ආදිය සිදු කිරිමට උපදෙස් ලබාදෙන බවත් ජලය පාරිභෝගකයින්ට ලබා දිමට පෙර විවිධ අවස්ථාවලදි ජල සාම්පල පරික්ෂා කිරිම් සිදු කිරිමට උපදෙස් ලබා දි ඇති බවය.
 

කමිටුවේ බහුතර නිලධාරින් කියා සිටියේ මෙම ප්‍රජා ජල ව්‍යාපෘති පළාත් පාලන ආයතනවලට පවරන ලෙසත් කුමන හෝ ආයතනයකින් නියාමනයක් සිදු කළ යුතු බවය.