මාතර මංකොල්ලයේ කොස්ගොඩ තාරක හඳුනා ගැනේ


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු  පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා ගැනීමට එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනෙකු අද (20) මාතර උසාවියේ පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සමත් විය.


මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මියගේ නියෝග මත වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේදී එම හදුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි.


මෙම නඩුවේ සාක්කිකාරියක වු අදාල ස්වර්ණාභරණ ආයතනයේ සේවිකාවට සැකකරුවන් කිසිවෙකුත් හදුනා ගැනීමට නොහැකි වූවාය.මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්.එස්.විජේරාම හා කොස්තාපල් සංජීව යන මහත්වරු සැකකරුවන් තිදෙනාම හදුනා ගැනීමට සමත් විය.


ඒ අනුව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය විසින් කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළාය.


එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ කොස්ගොඩ නානතොට , නෙල්ලිගස්කැලේ පදිංචි ධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක,ඔහුගේ සහෝදරයා වන ධර්ම කීර්ති මදුක නිර්මාල් පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ මදුක හා අනුරාධපුර දුටුවැව හීරන්දෙනිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් දෙදෙනෙකු විසින් හදුනා ගත් සැකකරුවන් තිදෙනාය.


අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ සිට එම සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරනය කොට රැගෙන ආවේ පොලිස් ආරක්ෂාවද සහිතවය.


මීට පෙර අවස්ථා හතරකදී පමණි හදුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වීමට නියමිතව තිබුනත් විවිධ හේතූන් මත අද (20) දක්වා  එම පෙරෙට්ටුව පැවැත්වීම කල් ගියේය.


කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් යුත් මෙම පාතාල කල්ලිය ඉකුත් ජුනි මස 22 වැනි දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් තුලට කඩා වැදී ගිනි අවි පෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබුණි.


එම අවස්ථාවේ දී පොලීසිය සමග ඔවුන් වෙඩි හුවමාරුවක් ඇති කර ගත් අතර පාතාල කල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත් වී තවත් සැරයන් වරයෙකු හා කොස්තාපල්වරයෙකුද සිවිල් වැසියන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබීය