මාගම්පුර සේවක ගැටළුව ගැන දෙසතියකින් විසඳුම් ඉල්ලයි


(විනීතා එම් ගමගේ)

හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ තීන්දුවකට පැමිණ තමන් වෙත දන්වන්නැයි කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වරාය පාලනාධිකාරියට උපදෙස් දී ඇත.

ඔවුන් වරායට අයිති සමාගමක සේවකයන් බැවින් ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට ආණ්ඩුව බැඳී සිටින්නේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගිවිසුමේ දී සේවක ප‍්‍රජාව පිළිබඳව එම ගිවිසුමේ කිසිවක් සඳහන් කර නැතැයි ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙසක් හෝ නිර්දේශයක් හෝ ලබාගෙන නැතැයි ද හෙතෙම කීය.

466 ක්වූ මෙම සේවක පිරිස 2012 දි වරාය සේවයට බැඳුණේ සේවා ස්ථිර කිරීම් පොරොන්දුව පිට බැවින් ඔවුන් පිළිබඳ වගකීම වරාය අධිකාරිය සතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

වරාය අධිකාරියට බැඳි  ඕනැම වරායක සේවය කිරීමට මෙම සේවක පිරිස කැමැත්ත පළ කර ඇත.

මෙම සේවක පිරිස තම රැකියා ආරක්ෂාකර දීමට මැදිහත් වන්නැයි කම්කරු අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්වුවේ කම්කරු අමාත්‍යංශයේ දීය. වරාය අධිකාරියේ පාලනාධිකාරිය ද මෙම සාකච්ඡාවට එක්ව ඇත.