
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමෙන් එගොඩ වීමට ගිය යතුරු පැදි කරුවකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි .
මීරිගම ප්‍රදේශයේ සිට අලව්ව තල්වත්ත ප්‍රදේශයට අද දහවල් යාමට ගිය යතුරු පැදි කරුවකු මෙසේ සැඩ පහරට අසුව ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇත .
ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු සිය මවගේ හත් දවසේ දානමය කටයුතු සඳහා තල්වත්ත බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මාඔයේ පාලමට යටින් මෙම සපත්තු පාළම පිහිටා ඇති අතර මේ දිනවල ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් සපත්තු පාලම ඉක්මවා ජලකඳ ගලා බසී.
අධිවේගී මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම ස්ථානයේ කොන්ක්‍රීට් දමා මෙසේ සපත්තු පාලමක් තනා තිබූ අතර එමගින් ප්‍රදේශ ප්‍රදේශයේ ජනතාව එගොඩ මෙගොඩ වීමට අවස්ථාව සලසා ගනු ලැබීය.
සපත්තු පාලම අඩියකින් පමණ ජලකඳ වසා තිබෙන අවස්ථාවේ මෙම යතුරු පැදිකරු පාලමෙන් එගොඩ වීමට උත්සාහ ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ටික දුරක් ගමන් කල යතුරු පැදිකරු සැඩ පහරට අසුව පහලට ඇද වැටී ගසාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .
ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා හා යතුරු පැදිය සොයා ගැනීමට කිමිදුම් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන තිබේ .

