මළ මිනිසකුටත් පොලිසියෙන් හිරිහැර
හදිසි මරණ පරීක්ෂණය අවසානයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක විසින් මුදාහැරුණු සිරුරක් කොළඹ මල්ශාලාවක තිබියදී වැල්ලම්පිටිය පොලිසිය යළිත් රෝහල් මෘත ශරීරාගාරයට ගෙනයාමත් තම නියෝගයක් නැතිව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට යාමත් නීති විරෝධී යැයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා කියයි.
මේ සිරුර අද (25) සවස්වන විටත් මෘත ශරීරාගාරයේ තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වා නොතිබිණි. දින දෙකකට පසුවත් සිරුර නොලැබුණු බව නෑයෝ කියති.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඉකුත් අඟහරුවාදා (24) නෑයනට මුදාහැර ඇත. අනතුරුව සිරුර මල්ශාලාවකට රැුගෙන ගිය පසු එදින සවස එහි ආ පොලිසිය නැවත රැගෙන ගොස් ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන යන බව නෑයනට පවසමිනි.
වැල්ලම්පටිය මීතොටමුල්ල පාර සෙල්ලරාජා අරුල් රාජ් (20) තරුණයාගේ සිරුර මෙලෙස පොලිසිය ගෙන ගොස් ඇත. ඔහු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවට සාක්කි විමසා තීරණය කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂක සිරුර නෑයනට බාරදුන්නේය.

